මෘදු බලය ( Soft Power) යනු..
මෙය 1988 දී පමණ සාකච්ඡාවට ලක් වූ සංකල්පයකි. ජෝශප් නායි, දයා කිෂාන්, නරේන් චිට්ටි යනාදීන් මේ පිළිබඳ ගැඹුරු අධ්‍යනයන් කරන විද්වත්හු වෙති. තමාන්ට අවශ්‍ය දේ සිදු කිරීමට අන් අය තුළ අවශ්‍යතාවයක් ඇති කිරීමට හැකිවීම මෘදු බලය (Soft Power) ලෙස ජෝශප් නායි අදහස් කර ඇත.
බලය යනු යමක් කිරීමට ඇති හැකියාවයි. අන් අය ලවා යමක් කිරීමට ඇති හැකියාව බලය වන අතර බොහෝ විට එය සිදු කරන්නේ බිය ගැන්වීමකින් නැතහොත් ඒ සඳහා ගෙවීමක් සිදු කිරීමෙනි. දේශපාලන වශයෙන් බලය ව්‍යාප්ත කිරීමට යුද්ධ කරනු ලැබේ එය දෘඩ බලය (Hard Power) වේ.සෑම විටම එය බලපාන ආකාරය අපට පුද්ගලමය වශයෙන්, පුද්ගල සමූහ වශයෙන් හෝ භෞතික වශයෙන් අපට දැනෙන්නකි. එය නිශ්චිතව හඳුනා ගත හැකි වන බලයකි.
නමුත් මෘදු බලය මීට හාත්පසින් වෙනස් ආකාරයක් ගනී. එහි ඇත්තේ සැගවුනු මුහුණතකි. එය හුදෙක් බලපෑමේ හැකියාව පමණක් නොවන්නේය. මෘදු බලය යනු ආකර්ෂණය කරගැනීමට ඇති හැකියාවයි. මේ තුළ අප මෘදු බලයෙහි ගහණයට හසුවූ මොහොත, එහි හැඩය අපට නොදැනේ. එය පුද්ගල මනෝභාවයට, ආකල්ප වලට හා සංස්කෘතික පිළිගැනීම් වලට බලපාන්නක් වන අතර භෞතිකමය වශයෙන් නොපෙනෙන්නකි. ඒ පිළිබඳ ඉතා විශ්ලේෂණාත්මකව අධ්‍යනය කළහොත් පමණක් අපට වටහා ගැනීමට හැකි වේ. Hard Power මගින් අණ දෙන අතර Soft Power භාවිත කිරීමේදී ඉලක්කගත ජන කණ්ඩායමක් තුළ එය ස්වේච්ඡාවෙන් කරනු පිණිස න්‍යාය පතය සකසයි. මෙම මෘදු බලය දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීයකරණයෙන් පසු බිහිවූ දෙයක් ලෙස ඇතමුන් සිතුවද ලෝක ඉතිහාසය විමසා බලන විට අතීතයේ සිට විවිධාකාරයෙන් භාවිතා කර ඇති බවට සාක්ෂි තිබේ.
ජාතක කතා පොත තුළ රජවරුන් මෘදු බලය භාවිත කළ අවස්ථා ගැන නොයෙකුත් දැකගත හැක. රජවරු සිය රූමත් දියණිවරුන් අසල්වැසි බලවත් රජවරුන් හට සරණ පාවා දී ඥාති සම්බන්ධතා ඇතිකර ගත්තේ රාජ්‍ය ආරක්ෂාව පිණිසය. කුස ජාතකය මෙයට එක් නිදසුනකි. එමෙන්ම ඊජිප්තුවේ ක්ලියෝපැට්රාද සිය රූප සෝබාව තුළින් අනෙකුත් රාජ්‍ය ප්‍රධානීන් වසග කරගන්නට යොදාගත් අතර රාජ්‍ය පාලන කටයුතු සදහා මහජන සම්බන්ධතා නිලධාරීන් පත්කර ගැනීම ගැන වඩාත් ඈත කාලීන නිදර්ශන සැපයෙන්නේ ඇයගේ රාජ්‍ය කාලයේදීය. ආගමද මෘදු බලය සදහා අතීතයේ භාවිතා කර ඇති බවට සාධක තිබේ. ලංකාවට බුදු දහම රැගෙන මිහිදු හිමි වැඩම කළ විට දේවානම්පියතිස්ස රජු නැවත රාජාභිෂේකය කිරීමද ඉන්දියාව මෘදු බලය සඳහා ආගම භාවිතා කිරීමට නිදසුනකි.
විශේෂයෙන් ඇමරිකාව මෘදු බලය ලෙස හොලිවුඩ් සිනමාව යොදා ගත්හ. මෙම සිනමාව අනෙකුත් රටවලටත් ව්‍යාප්ත කරමින් මේවායේ ඇති ඇමරිකානු සංකල්ප සංස්කෘතීන් තුළින් අනෙකුත් රටවලට ද ව්‍යාප්ත කරමින් ඇමෙරිකාව අනුගමනය කළ යුතු බව හොලිවුඩ් සිනමාව තුළින් ඒ රටවලට රැගෙන ගියහ. 1917 වන විට සෝවියට් සංගමය ඇමෙරිකාවට අභියෝගයක් විය.
ජනප්‍රිය සංස්කෘතිය තුළ මිනිසුන් දේශපාලනික වශයෙන් නිර්වින්දනය කරමින් තමාට ආකර්ෂණය කරගැනීමට මෘදු බලය ලෙස යොදාගන්නා අතර, සෝවියට් මේ සඳහා වෙනස් ආකාරයේ මෘදු බලයක් භාවිතා කළහ. මිනිසුන් අරුමැසියට නංවා ගැනීමට ඇමෙරිකාව උත්සාහ දරන අතර අනෙක් පසින් සෝවියට් විසින් දිළිඳු රටවලට දියුණු වන්නට අවස්ථාව සලසා දී මූල්‍ය ආධාර, ඖෂධ ආදිය ඒ රටවලට ලබාදුන්හ. අධ්‍යාපනයට අවස්ථාවන් ද තාක්ෂණික ඥානයද එවන් රටවලට ලබා දීම සෝවියට් මෘදු බලය යොදාගත් අවස්ථාවන් වේ. ඇමෙරිකාව ආදී ධනවාදී රටවල් ජනප්‍රිය සංස්කෘතිය යොදාගනිමින් මෘදු බලය පැතිරවීමට කටයුතු කරන අතර, සමාජවාදී රටවල ඉහළ සංස්කෘතිය ලෙස අධ්‍යාපනය ආදිය යොදාගැනීම තුළින් මෘදු බලය පැතිරවීය. පසු කලෙක ඇමෙරිකාවද ශිෂ්‍යත්ව, Green Card ආදිය හඳුන්වා දෙමින් තුන්වන ලෝකයේ රටවල උගතුන්, බුද්ධිමතුන් තම රටේ සේවයට ගෙන්වා ගත්හ. ඇමෙරිකානු සංස්කෘතිය පිළිනොගන්නා රටවලට එරෙහිව භාවිතා කරන Soft Power අවිය මානව හිමිකම් වේ. 1961 දී පමණ කවි කාල් සැන්ඩ්බර්ග් පැවසූවේ ඇමෙරිකාවට හාවඩ් වලට වඩා Hollywood වටින බවයි. ඉස්ලාමීය ලෝකය ඉතා දැනුවත් ලෙස ඇමෙරිකානු සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන අතර ඇමෙරිකාව ඉතා දැනුවත් ලෙස සිය මුළු ශක්තිය භාවිතා කරමින් හොලිවුඩ් සිනමාව හරහා මුස්ලිම්වරුන්ට අපහාස එල්ල කරන ලදී.
ඇමෙරිකාව ආරම්භ කළ ජනප්‍රිය සංස්කෘතිය ආදී මෘදු බලය ලෝකයේ වෙනත් රටවලට පැතිර යන අතර ඉන්දියාව එහි මුල් පියවර තැබූ රටක් ලෙස Bollywood සිනමාව තුළ ඔවුනගේ සංගීතය, සංස්කෘතිය ගෝලීය මට්ටමට රැගෙන ගියහ.
කොරියාව හා ජපානය ගත්විට ඔවුන් වාණිජත්වය වෙනුවෙන් මෘදු බලය හසුරවයි. කොරියානු නාට්‍ය, සංගීතය තුළින් නව සුන්දර මානයන් පෙන්වා අපව ආකර්ෂණය කර ගැනීමට කොරියාව සමත්ව ඇත. එමෙන්ම ජපානය අප රටට රූපවාහිනී සංස්ථාව තෑගි කර නමුදු එහි පෙන්වන්නට අප රට සතුව වැඩසටහන් නොතිබිණි. ජපානය නිශ්පාදනය කළ කාටුන්, අධ්‍යාපන වැඩසටහන්, සිනමාව ආදිය අප රටේ රූපවාහිනී සංස්ථාවේ විකාශයට ලබාදුන්හ. එහිදී ජපානයේ සේවයට සේවකයන් අවශ්‍ය වූ විට ලාංකිකයන් ඒ සදහා කැමැත්තෙන්ම ඉදිරිපත් වී සේවයට ගියහ. එය ජපානය මෘදු බලය ලෙස යොදා ගත් අවස්ථාවකි. කොරියාව, ජපානය ආදී රටවල් ඒ ආකාරයෙන් රසවින්දන වැඩසටහන් ඉදිරිපත් කරමින් මෘදු බලය පතුරවමින් ඔවුන්ගේ රටවලට අවශ්‍ය සේවකයන් ගෙන්වා ගැනීමට සමත්ව ඇත.
චීනය ගත්විට අනෙක් රටවලට වඩා වෙනස් ආකාරයෙන් මෘදු බලය හසුරවමින් කටයුතු කරති. සංවර්ධනය වන රටවල් වලට පාලම්, පාරවල්, වාරිමාර්ග හා ඇළ වේළි රැගෙන එමින් යටිතල පහසුකම් සපයමින් චීනය ආසියුනු හා අප්‍රිකානු රටවල් කෙරේ ඉතා සූක්ෂම ආකාරයෙන් මෘදු බලය හසුරවන්නේය. චීනය උත්සාහ කරන්නේ තම මෘදු බලය තුළින් ජනතාව දිනා ගැනීමට වඩා සමස්ත රාජ්‍ය ඇල්ලීමටය. ලංකාව තුළද විශාල චීන ආයෝජන ක්‍රියාත්මක වෙමින් පවතී. රගහල්, අධිවේගී මාර්ග, සන්නිවේදන කුළුණු ආදී සියල්ල පිටුපස ඇත්තේ දැවැන්ත චීන ආයෝජනයන් වන්නේය....

Very Important article 💙 Good Job 👍
ReplyDeleteWow...great job
ReplyDeleteImportant article
ReplyDelete