වෙනස් විය යුත්තේ කොතැනද?
අතීතයේ පටන් සංවර්ධනය වෙමින් පවත්නා රටක් වන අප රට සංවර්ධිත රටක් වන්නේ කෙදිනදැයි කිසිවෙකු නොදන්නේය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස නම් දරන්නා වූ අප වර්තමානය වන විට එය නමකටම පමණක් සීමා වී ඇති බව නම් පෙනෙන්නේය. ස්වභා සුන්දරත්වය අතින් කිසිවකුට දෙවෙනි නොවන්නට මිහිකත මාතාව ලබා දී ඇති පරිත්‍යාගයන් එමටය. සොබාදම් මාතාවට පිංසිදු වන්නට ලෝකයේ සෙසු රටවල් අතරින් ඉහළින් වැජඹෙන්නට අපට හැකියාව ලැබී ඇත්තේ එබැවින්ය. එවන් පිංවන්ත භූමියක පරිසරය පිරිසිදුව තබාගමු මැයෙන් බෝඩ් කෑලි මංමාවත් පුරා සවිකිරීමට සිදුව ඇත්තේ සතා සිවුපාවන්ට පෙනෙන්ට නොව මිනිස් සත්වයාගේ අවධානය පිණිසමය. මනසෙන් උසස් යැයි පවසන මිනිස් සත්වයාට තවමත් වටහා ගැනීමට නොහැකිව ඇත්තේද මේ කාරණාවය. වෙනස් විය යුත්තේ කොතැනද?
මිනිසාට උසස් මනසක් ලැබී ඇත්තේ උසස් ලෙස සිතීමට හා කටයුතු කිරීමටය. අද වර්තමානයේ මාර්ගයක ගමන් කිරීමට සිදුවී ඇත්තේ නාසය වසා ගනිමින්ය. කසළ දැමීමෙන් වළකින්න ලෙස සවිකර ඇති පුවරුව වැසෙන්නම කසළ ගොඩ එතැන දමා යන්නට තරම් මිනිස් මනස අපිරිසිදු වී ඇත්තේය. ඇතැමුන් බස් නැවතුම්පළේ හිදිමින් කෙළ ගසන්නේ එතැන වූ මල් බදුන් තුළටය. මෙය රටක රජයකට වෙනස් කළ හැක්කක් නොවන්නේය. දඩ නියම කරමින් නීතිය ක්‍රියාත්මක කරමින් පාලනය කළ හැක්කක්ද නොවන්නේය. රටක වගකිව යුතු පුරවැසියන් වශයෙන් වෙනස් විය යුත්තේ තමාමය.
සංවර්ධනය යන්න එක් අංශයක් නොවන්නේය. රටක සියලු අංශ එක සේ එයට දායක විය යුතු වන්නේය. ඒ සියල්ලට පෙර මිනිස් චින්තනය නිවරදිව දිශාගත විය යුතුය. පෝළිමක් නොහදුනන මිනිසුන් සිටින්නා වූ රටක විනයක් ඇති කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේය. මහමග කාන්තාවකට නිදහසේ ගමන් කිරීමට නොහැකි රටකට විනයක් ඉගැන්වීම අසීරු කාර්යයකි. රටක් පාලනය කරන්නා වූ ඇත්තන් ප්‍රසිද්ධියේ ගහ මරා ගනිමින් ආදර්ශයන් සපයන විටක රටක පුරවැසියන් යහමගට ගමන් කරවීම කකුළුවාගේ ගමන සේ වීම අරුමයක් නොවන්නේය. රටක සංවර්ධනය ගොඩනැගීමට කවුරුන් කොතෙක් කයිවාරු ගැසුවද සිදුවී වී ඇත්තේ සියල්ලෝම තම තමාගේ බඩ වඩා ගැනීමට පමණක් කටයුතු කිරීමය. රටක සංවර්ධනය ආරම්භ විය යුත්තේ තමා තුළින්මය. අනෙකාගේ ඇද සොයමින් ඒ මගම ගමන් කිරීම නොව තමා උසස් මනසින් කටයුතු කළ යුත්තේය. රටක් වශයෙන් සියල්ලන් සංවර්ධනයේ මාවතට එකලෙස පිවිසිය යුතුය.. එවන් දිනකට සංවර්ධිත රටක් යන සිහිනය සැබෑවක් කර ගත හැකි වනු නියතය..
Truth 👍
ReplyDelete