හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ..




     න්‍යෂ්ටික පවුලේ බිහිවීම දේපළ ක්‍රමය ලොව පහළ වීමට සමාන්තර වේ. පුරුෂ මූලික සමාජ සංස්ථාවත්, සුජාත භාවයත් එහිම අංග ලෙස පවතී. දේපළ වල අයිතිකාරයාත්, එහි පාලකයාත් පුරුෂයා වෙයි. එම දේපළ උරුම වන්නේ පුරුෂයා දාව උපන් දරුවන්ටය. එහෙයින් දරුවන්ගේ සුජාත භාවයට ස්ත්‍රිය වග කිව යුතුය. විවාහයෙන් පසු පතිවෘතාව දිවි දෙවෙනි කොට රැකිය යුතුය. සියලු සිරිත් විරිත් සමාජ ප්‍රතිෂ්ඨාවත්ගෙන් ගලා එයි. එහෙත් මේ දෘඩතර කුටුම්භ සංරක්ෂණ මාදිලියෙහි වෙහෙසත් එහි පවත්නා දැඩි බවත් ලෞකික සැප කැමත්තෝ එම බැමි වලට දිවියේ සුන්දරත්වය සොයා ඉගිලෙන්නට සිතෙති. උපන්නාට වැනෙමින් බැගත් බෙරය ගසමින් ගතකරන ශුෂ්ක ජීවිතයට රැහැනිව ගැයෙන ගීයක් ලෙස රසික හදවත් බැදගැනීමට ප්‍රේමකීර්ති ද අල්විස් නම් ගේය පද රචකයා විසsන් රචිත මේ ගීය සමත් වේ. 

.... අපි හැගුම් වලට ඉඩදී මොහොතක්

ඉඩ ලබා ගනිමු තරමින් වියතක්

පානේ මද අදුරේ

අත් පටලා යමු ආයේ....

    උදාවී ඇති කුටුම්භ අඩස්සිගත ජීවිතය ඉස්පාසුවක් නැත්තකි. සොම්නස් බොහෝ දුරුය, දොම්නස් මැ රජයයි. පසිදුරන්ම තැවේ. ගහේ බැදි ගොනුන් සේ ඔවුනොවුන් දිවි සරි කර ගැනීමට ගත සිත තව තවා රැකියා මැ කෙරෙත්. රැයෙහි හා දවාලෙත් දිවි බරින් ඇඹරී මිරිකී සුසුම් ලති. ප්‍රියාවිය හා විඳින ගේහසික ප්‍රේමයෙහි අසිරි නොවන්නට දිවි සිළිලාරව වියළී නැසෙත්. මේ සිර වූ දිවියෙහි වියතක් තරම් ඉඩ හැර ඉන් ඔබ්බෙහි ඉඩක් ගත නොහේ.. ඒ හැගුම් වලට ඉඩදී, මුකුලිතව යන මන කුමුද පෙම් පැන් ඉස යළි විකසිත කරනු පිණිසය.

     භද්‍ර යෞවන සමයේ ප්‍රේමාදර හැගුමින් බරව පෙම්වතුන් පෙම්වතියන් සේ ගත කළ සුන්දර සමය සිහිනෙන් ගෑ සුවක් මෙන් මතකයේ පමණක් රැඳී ඇත. ඒ ප්‍රේමය යළි අලුත්වැඩියා කළ නොහැකි තරමින් දිරාපත්ව ගොස් ඇත. එහෙත් ප්‍රේමයෙහි පහස නො නිවී දැල්වෙයි. හපානේ මද අදුරේ අත් පටලා යළි යන්නට අයදිනුයේ කඩතොළුව ගිය ජීවිතය යළි පෙම් පිරියම් කොට රැකගනු වස් වේ. ප්‍රේමයේ අහ්ලාදය සරැසින් නැහැවුණු මද අදුරේ දී වඩා දැඩි වන බව කවි සමයයි. එය එසේමය. එහෙයින් මේ ඇරයුම වඩා පෙම්බර සහවාසී අස්වැසිල්ලක් සහාම වේ.

.... ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී

මම මගෙ හෙවණැල්ලෙන් මිදී

අවුදින් හෙමින් රහසක් මුමුණා

අත් පටලා යමු ආයේ....

     හෙවණැල්ලෙන් මිදීම යනු ධ්වනිථාර්තවත් යෙදුමකි. අප සෙවණැලි සහිත වනුයේ ආලෝකය ඇති විටදීය. අලෝකයෙහි වෙසෙත්දී අප ලෝකයට නිරාවරණය වේ. සැමට පෙනෙයි. සමාජ සම්මතය සදාචාරය ආදියෙහි විවර වූ උකුසු ඇස් ද, හැකර කටවල්ද මේ ආලෝකය දෙසට විවරව ඇත. එමෙන්ම සිය අඹු සැමි ආදී පවුල් සංස්ථාද සෙවණැලි මෙනි. සෙවනැල්ලෙන් මිදීම යනු මේ සියල්ලෙන් මිදීමයි. මද මද පිය මං තබා හෙමි හෙමිහිට ලැසිව අවුදින් රහසින් ලොවටම හොරා මුමුණමින් අත් පටලා ගෙන ‍හපානේ මද අදුරේ නැවතත් යාමට මේ අහිමිව ගිය පෙම්වතුන් දෙපළ සැරසේ. මේ අයැදුම ඒ සදහාය. නැවතත් ජීවිතය අරඹා ඇති සෙයකි. 

     පවුල් සංස්ථාවේ අතොරක් නොමැති දුක් වේදනාද, ඉමක් කොනක් නොමැති යුතුකම් ඉටු කිරීමද, දිවිසරි කර ගැනීමට කරන ආර්ථික යුද්ධය ද මදකට අමතක කොට පෙමින් සන්නද්ධ වීමට ඇති සුකුමාර ඇල්ම මෙහි ඉමහත් සංයමයෙන් යුතුව රචනා කොට ඇත.

.... හිර කර හසරැල්ලෙන් හැඩුම්

අපි හිනහෙමු සපුරා පැතුම්

මතු ආත්මයේ හමු වන පැතුමින්

යමු වෙන් වී හිමිදිරියේ....

     පැතූ පැතුම් එලෙස ඉටු නොවී ඔවුනොවුන් වෙන්කෙරෙන ආර්ථික බලවේග වලට යට නොවී ඒවාට හොර රහසින් ජීවිතය ආස්වාදය කිරීමේ අපේක්ෂාව මෙහි අන්තර්ගතය. යුග දිවියෙහි ඇති දහසක් දොම්නස් හැඩුම් දෙඩුම් හසරැල්ලෙන් බැ සිර කෙරුමට මේ ප්‍රේමයෙහි ආස්වාදය සමත් වේ. මේ අත්භවයේ යළි හමු නොවතත් මේ හමු වීමේ සුඛ වේදයිතයින්ගේ පුණ්‍ය මහිමයෙන් ම මතු ආත්මයේ හමු වන පැතුමෙන් ඔවුන් හිමිදිරියේ වෙන් ව යනු ඇත.

     යොවුන් විය ගෙවී ගොස් ගත සවි බල කෙමෙන් හීනව යෙත් යෙත් හිස නර කෙස් පහළව කයෙහි සුකුමර බව නික්ම යාමට ආසන්න වන විට පුද්ගලයා තුළ මරණ බය වැඩේ. දිවියෙහි නොළෙද ආස්වාදයන් කෙරේ සැනෙන් සිත පෙළඹේ. යොවුන් විය පසු කොට දිවියෙහි යම්දුරක් ඉක්මවා ගිය අතීත පෙම්වතුන් දෙපළක් සිය වත්මන් තතු අමතක කොට හපානේ මද අදුරේ එක්වී නැවතත් අතීතයේ මගහැරුණු ප්‍රේමයේ සුන්දර නිමේෂයන් අත් පත් කොට ගැනීමට දරන තැත ගීතයෙන් කියවේ.

     මේ ගීය වික්ටර් රත්නායකයන්ගේ ළගන්නා හඩින් ගැයේ. ශබ්ද සංකලනය විෂයෙහි දක්වා ඇති කුසලතාවය අනර්ඝ වේ. සංගීත අධ්‍යක්ෂණයද වික්ටර් රත්නායකයන්ගේ ම වේ. 

අප ගත කරමින් සිටින දිවි තතු පවත්නා සමාජ සංස්ථාව නැමති මාලාවේ අණසකින් යදමෙන් වෙළී ඇති සැටිත්, ඉන් මෙහොතකට හෝ මිදී ඒ උත්තරීතර මිනිස් සුව සොයා ඉගිලෙන්නට දරණ වෙර වීරිය මේ ගීතයෙන් පැවසේ. ප්‍රේමයෙහි පවත්නා ආහ්ලාද ජනක එක් නිමේෂයක පැතුම මෙහි ගීතයට නගා ඇත.

     කාලය විසින් සොරකම් කොට  ගෙන ගිය ආලය යළි ආස්වාදය කිරීමට පෙම්වතෙකු සිය පෙම්බරියට කරන මේ ඇරයුම අපගේ ද හැගීම් පද්ධතියට රස කවා පොබවාලීමට සමත් වේ. ඒ තථ්‍ය ජීවිතය පිණිස කෙරෙන අයැදුමයි. ඒ නිදහස් ජීවිතයක් උදෙසා යොමු වන ආලෝක ධාරාවයි.

පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය- වික්ටර් රත්නායක

ගායනය- වික්ටර් රත්නායක





Comments

  1. Got goosebumps...An amazing article...🥰💜

    ReplyDelete
  2. දන්නා ගීතයක අප නොදන්නා විමසුමක්.. ලස්සනයි 👍 ජීවිතය වියපත් වුවද කිසිදා ප්‍රේමය වියපත් නොවේ..

    ReplyDelete
  3. Great article 👍 ❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය

මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..