මගේ දුවේ ඔබ අවදියෙන්නම්..
මිනිසා සහ සොබාදහම අතර ඇත්තේ අත්‍යන්ත අවියෝජනීය බැදීමකි. එමනිසා සොබාදහමේ අසිරිය අත්විදින්නටත් එය කලාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කරන්නට මිනිසුන් උත්සුක වෙති. සොබාදහමේ අපූරු රූ රටාවන් මනරම් ලෙස කලාත්මකව ප්‍රතිනිර්මාණය කිරීම සාහිත්‍ය කලා ආදියෙහි නිරන්තරයෙන් දැකිය හැකිය. සොබාදහම හා ගැටෙමින් එය ජය ගැනීමට වෙර දරන මිනිසුන් අතර සොබාදහමට අනුගත වෙමින් කරුණාව දක්වමින් සියුම් සිද්ධීන් පවා ස්පර්ෂ කරමින් සොබා සුන්දරත්වය ප්‍රතිනිර්මාණය කරන අයුරු මනරම් වේ. රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත මේ ගීය සොබාදහම අපට දී ඇති අනර්ඝ දායාද සමූහය පිළිබද වැකි සිත්තමක් වේ.
මගේ දුවේ ඔබ අවදියෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි..
ඝර්ම කලාපීය රටක දිවි ගෙවන අපට දවාලෙහි හිරු රැසින් මිදී උදාවන රැය ගත සිහිල් කරවන සුවයක් ගෙන එයි. සද රැස් ඇති රැයක මැදියම් රැය පසුවන නිසළ හෝරාවේ අහස් තළය තරු වියනක් සේ දිළෙයි. ලෙවම නිදන සුවබර රෑ යාමේ සිරි අසිරියෙන් මුසපත් වූ හදින් පියෙකු සිය දියණිය අමතයි. මේ නිහඩ යාමයේ ඇය ඇයගේ සුරතල් සරල ලොවෙහි සිහින දෙවිලියන් හා වෙළී කෙළිදෙළෙන් වෙසෙයි. ඒ නින්දේත් නොනින්දේත් ගැටෙමින් සිහින තෝරමින් නිදන මොහොතයි. නිදි යහනෙන් පිබිදී දොර කවුලළුවෙන් මිදී නිදහස් අවට ලෝකය නැරඹුවහොත් සොබා දහමේ ලියකම් සුරුකම් නොනිදා අවදියෙන් සිටින අපූර්වත්වය දැකිය හැකිවේ. ඒ සියල්ලම මනුෂ්‍ය පැවැත්ම උදෙසා වූ මහාර්ඝ සම්පත් වේ. මේ සියල්ලම නිදි යහනේ නිදන දුවටද උරුමය එහෙත් ඇය ඒ බව නොදනී. ඇය ඇයගේ ලොවේ සුවසේ නිදයි. දුව නිදන මුත් සොබාදහම මනරම් වෙස් ගෙන අවදිව සිටින්නේය.
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැදි වෙලාවයි..
මේ පොළව කොතරම් සුන්දරද
මගෙ දු තනියම හිනාවෙයි..
මැදියම් රැය ඉක්ම යන විට සැන්දෑ යාමයේ විකසිත වූ සේපාලිකාවෝ පරිණතව ධවල සේලයෙන් සැරසී බිමට බසින්නේ මනා සුගන්ධය අවට හාත්පස විහිදුවමින්ය. රෑ යාමයේ පොළෝ තලය සිහිල් වුව වැව් දිය සිහිල් වනුයේ සෙමින් සෙමින්ය. රිදී තලාවක් මෙන් පෙතලි වූ වැව් දිය ගැඹරෙහි තරු මල් පීපී දිලිසෙයි. වැව් දිය හා දිදුලන තරු මල් එකිනෙකින් වෙළෙමින් සුහද වෙයි. ඒවා වෙන් කිරීමට කිසිවෙකුටත් නොහැක. පෙමින් ස්නිග්ධ වූ සුපෙම්වතෙක් සිය පෙම්බරිය දෙස හෙළන නුරා කැළුම් මුසු දෙනුවන් මෙන් තාරකාවෝ බබළන්නේය. මේ නිසාවෙන් පොළවද වර්ණාන්විතය. මෙලෙස සොබා දහමෙහි නන් විසිතුරු එකිනෙකා හා තරග වදිද්දී දුව සිහිනෙන් සිනා සෙනු පියාට ඇසෙන්නේය. ඇය නිදි දෙව්ලියන් හා තුරුලෙහි ගුලි වී නිදන්නීය. ඇයට මේ සොබා සිරි නොපෙනුනද මේ සියල්ල ඇයගේ උරුමයයි.
ගණ කරුවලට අප පෙම් කළොත්
ඉර හද තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ළොවට පෙරලා දිය යුතුයි..
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි..
අප අවට ලොව අප වෙත අපමණ සෙනෙහසින් තැනූ මැවූ බොහෝ දේ ඇත. අප කවුළු පියන්පත් වසා සිට එම සුන්දරත්වය අත්විදින්නට නෙසිටී නම් අප එහි ණයකරුවෝ වෙමු. සොබා දහමේ විසිතුරු රූ රටා අපේ ඉදුරන් පිනවයි. සිත සමාධි ගත කරයි. මේ ලොව අපට අපමණ සම්පත් සාදා දී ඇත. එය මතු පරපුර පිණිස රැක ගන්නවා සේම වඩා පෝෂණය කිරීම කළ යුතුය. ගහ කොළ, සතා සවුපාවා මෙන්ම දෙව් බඹුන් හා මිනිසුන්ගෙන් යුතු මේ ලෝක ධාතුවට අප ආදරය කරයි නම් ඒ ලොවද අපට පෙරළා ආදරය කරයි. අප ලොවට දෙන දේ ලෝකය පෙරළා අපටද ලබා දෙයි යන්න පැරණි චීන සුභාෂිතයකි. එය මේ ගීතයේ සාරය කොට පවතී. එය මෙහි පියෙකු දුවකට දෙන ඔවදනකි. දූවරු හා පියවරු අතර ඇත්තේ හරි අපූරු බැදීමකි. එය මේ ගීතය පුරාවට මනාව ඉස්මතු වන්නේය.
පද රචනාව ස්වර වර්ණ සංයෝජනයෙන් ලගන්නා රූපයක් බවට පත් කිරීමට රෝහණ වීරසිංහයෝ උත්සුක වී ඇත. අප අවට ලෝකය අපට උරුම වූ සම්පතක් ලෙස ගෙන ඒ හා සහවාසීව ජීවත් වීම සිතට හා ගතට සහන සාදා දෙන්නේය. එසේ නෙවූ කල්හි බොහෝ පීඩාවන් වේදනාවන්ද නිරතුරු ගෙන දේ. මේ ගීතය විසින් සම්පාදිත සියළු ලොවට කරුණා වැඩීමේ පෙම් කිරීමේ ගුණය මිනිස් දිවිය අරුත්බර කොට පුබුදුවාලමින් ඔසවා තැබීමේ ශඛ්යතාවයෙන් සමන්විත වේ. ඒ සුභාවිත හැගුම මුළු ලොව සරසන්නේය.


Good ❤❤
ReplyDeleteGd job👌
ReplyDeleteLassanai ❤️🥂
ReplyDeleteNice❤
ReplyDeleteSuperb😍😍
ReplyDeleteWoooow 💖😍
ReplyDeleteLove this 🤗
ReplyDeleteSuperb dr..❤♥️✌️
ReplyDeleteGood article
ReplyDeleteNiyamai
ReplyDeleteGreat
ReplyDeleteLASSANAI ❤
ReplyDeleteGreat
ReplyDeleteSuperb👌👌
ReplyDeleteGood article
ReplyDeleteNiyamai💛
ReplyDeleteතාත්තයි දුවයි කියන්නෙ වචන වලින් නැති නිශ්ශබ්ද බැදීමක්
ReplyDelete❤️❤️❤️
ReplyDeleteපිය සෙනෙහස..
ReplyDeleteBest one😍🎉️
ReplyDeletegood
ReplyDeleteGodak lassanai..
ReplyDeleteWow...! Great work
ReplyDeleteNice 👍
ReplyDelete