ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

     ලොව පුරා සියලු මිනිසුන් නිරන්තරයෙන් තොරතුරු පිපාසාවෙන් පසුවෙති. ලෝකය පුරා සෑම තැනකම විවිධ දේ සිදුවන අතර ඒවායින් ඇතැම් දේ විශේෂිත වන අතර ඇතැම් දේ සාමාන්‍ය තොරතුරුය.මේ සියලු දේ දැනගැනීමට බොහෝ දෙනා උනන්දුවෙන් පසුවන අතර ප්‍රවෘත්ති යනුවෙන් අපට හදුන්වන්නට සිදුවන්නේ මේ කුහුල දනවන සිදුවීම්ය. ඇමරිකානු පුවත්පත් කතුවරයෙකු වූ චාල්ස් ඒ ඩැනාගේ අදහසට අනුව ජනතාවගේ කතාබහට ලක්වන ඕනෑම සිදුවීමක් ප්‍රවෘත්තියකි. සමාජය තුළ කුතුහලය දනවන සිදුවීම් ප්‍රවෘත්ති ලෙස වර්තමාන ජනමාධ්‍ය තුළින් ඉතා තරගකාරීව ඉදිරිපත් කරන අතර තොරතුරු පිපාසාවෙන් පෙළෙන ජනයාට එය මහත් අස්වැසිල්ලක් වේ. ප්‍රවෘත්ති කියන වචනයට ඉංග්‍රීසියෙන් යොදන පදය NEWS යන්නය. එම වචනය සැකසී ඇත්තේ North, East, West සහ South යන වචන හතරේ මුල් අකුරු එකතු වීමෙනි. ප්‍රවෘත්තියක් හදුනාගැනීමේදී එය අනෙකුත් සිදුවීම් වලින් විශේෂ කොට හදුනාගැනීමට උදව් වන ලක්ෂණ කීපයක් පහත දැක්වේ. යම්කිසි සිදුවීමක් හෝ තොරතුරක් ප්‍රවෘත්තියක් ලෙස වටිනාකමක් ඇතිවීමට නම් පහත ලක්ෂණ ඒ තුළ අන්තර්ගත විය යුතුය.

  • කාලෝචිත බව
  • කැපී පෙනෙන විශේෂ තොරතුරක් වීම
  • තොරතුර තුළින් සිදුවන බලපෑම
  • සමීපතාව
  • මානව ඇල්ම
  • අසාමාන්‍ය බව
  • ගැටුම්
  • නැවුම් බව


ප්‍රවෘත්තියක් තුළ තිබිය යුතු විශේෂ ගුණාංග..

     ප්‍රවෘත්තියක් තුළින් මිනිසුන්ගේ ජීවිතය තුළ බොහෝ වෙනස්කම් සිදු කළ හැකිය ඒවායින් ඇතැම් වෙනස්වීම් හානිකර හැලහැප්පීම්ද විය හැකිය. එමනිසා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ඉතා වගකීම් සහගත කටයුත්තකි. සමාජය දැනගත යුතු දේ හා නොදැනගත යුතු දේ හරියාකාරව තෝරා බේරා ගෙන ඉදිරිපත් කිරීම සෑම මාධ්‍යයකම වගකීම වේ. ප්‍රවෘත්තියක් තුළ පවත්වා ගත යුතු අනිවාර්ය ගුණාංග කීපයකි.

     1. සත්‍ය හා නිවරදි බව

           ප්‍රවෘත්තියක් සෑම විටම නිවරදි තොරතුරක් වීම අනිවාර්ය වේ. එය කිසිවිටෙකත් ප්‍රබන්ධයක් හෝ මුසාවක් නොවිය යුතුය. සත්‍ය නොවන පුවත් දූෂමාන ආරංචි වේ. එම නිසා ප්‍රවෘත්තියකට පදනම් විය යුත්තේ සත්‍ය තොරතුරකි. ලෝකයේ කීර්තිමත් මාධ්‍ය වේදියෙකු වූ ජෝසප් ජුලිට්සර් ගේ පිළිගැනීමට අනුව ප්‍රවෘත්තියක පළමු අවධානයට යොමු විය යුත්තේ නිරවද්‍යතාවයටය. දෙවැනි තැන හිමිවිය යුත්තේද නිරවද්‍යතාවයටය. තෙවෙනි තැන හිමිවිය යුත්තේද නිරවද්‍යතාවයටය. මේ දිනවල සමාජයේ දැඩි තර්ජනයක්ව පවතින කොරෝනා වසංගතය ගතහොත් ඒ පිළිබද නිවරදි තොරතුරු ඉදිරිපත් කිරීම හරියාකාරව සිදු නොවුනහොත් ජනතාව කලබලයට පත් වී සමාජය තුළ දැඩි කැලඹීමක් ඇතිවීම වළක්වාලිය නොහැක. ප්‍රවෘත්තියක සත්‍ය හා නිවරදිතාව අනිවාර්ය වේ.

     2. මධ්‍යස්ථ බව හෙවත් සමතුලිත බව  

          ප්‍රවෘත්තියක තිබිය යුතු අනෙක් වැදගත් ගුණාංගය නම් මධ්‍යස්ත බවයි. පුවත් සම්පාදනය කරන්නා නිරන්තරයෙන් මධ්‍යස්ථ තොරතුරු සපයා දීමට කටයුතු කළ යුතුයි. කිසිවිටෙකත් ජාති, ආගම්, දේශපාලන පක්ෂයකට බරව ක්‍රියා නොකළ යුතුයි. එසේ වුවහොත් ප්‍රවෘත්තියක සැබෑ අර්ථය ගිලිහී යාමට ඉඩ ඇත. එසේම ප්‍රවෘතිතියක් ඉදිරිපත් කිරීමේදී තම පෞද්ගලික මතය ඉස්මතු කිරීම තුළ ප්‍රවෘත්තියේ සමබරතාව බිදවැටීමට හේතු වේ. මෙම තත්වය අද ප්‍රවෘත්ති කලාවේ දක්නට ලැබෙන බලවත් ඌනතාවයකි. එක් එක් මාධ්‍ය ආයතන තමන් වඩාත් ලැදි පක්ෂ වාර්ගිකත්වය, ආගම් හා මතවාද පදනම් කරගෙන ප්‍රවෘත්ති සකස් කිරීම තුළ ප්‍රවෘත්තියේ විශ්වාසනීයත්වය බිදී ගොස් ඇත.

     3. නිරවුල් බව 

          ප්‍රවෘත්තියකින් ඉදිරිපත් කරන තොරතුරු ග්‍රාහකයාට වඩාත් නිරවුල්ව වටහා ගැනීමට හැකියාව තිබිය යුතුය. එහි නිරවුල් බව ගිලිහී යාම තුළ අපැහැදිලි තොරතුරක් ග්‍රාහක ගත වීම තුළ ග්‍රාහකයා වැරදි තීරණ හා නිගමන වලට එළඹේ. එබැවින් ප්‍රවෘත්තියක නිරවුල් බව අනිවාර්ය ගුණාංගයකි. 

     4. විශ්වාසනීය බව  

          ප්‍රවෘත්තියක් ඔස්සේ ගලා යන තොරතුරු ග්‍රාහක සමාජයේ සිතුම් පැතුම් ආකල්ප සකස් වීමෙහිලා සෘජුවම බලපායි. නාළිකා කිහිපයක ප්‍රවෘත්ති නරඹන පුද්ගලයෙකු ව්‍යාකූල තත්වයකට පත්වීම අප රටේ සුලබය. එනම් විවිධ නාළිකා වල එකම තොරතුර වුවද විවිධාකාර කෝණයන්ගෙන් ඉදිරිපත් කිරීම තුළ එකිනෙකට වෙනස් වූ තොරතුරු ඒ හරහා සමාජගත වන බැවිනි. එහිදී සත්‍ය ප්‍රකාශ කරන්නේ කවුරුන්ද යන උභතෝකෝටික ප්‍රශ්නය ග්‍රාහකයාට මතුවේ. පුවත් රචනයේදී විශ්වාසනීය බව ගුණාංගයක් ලෙස වර්ධනය කළ යුත්තේ මේ නිසාය. පුවතක විශ්වසනීය බව ගොඩ නැගීම සදහා ප්‍රවෘත්තියේ නිවරදි බව අවශ්‍ය වන බව මාධ්‍ය විශාරදයින්ගේ අදහසයි. 

     5. කඩිනම් බව 

          ඉහත ගුණාංගයන්ට අමතරව කඩිනම් බව ප්‍රවෘත්තියක නැවුම් බව පවත්වා ගෙන යාමට අවශ්‍ය ගුණාංගයකි. නූතන තාක්ෂණය දියුණු තත්වයක පවතින මේ යුගයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම අතිශය තරගකාරී ක්‍රියාවලියකි. ඒ හේතුවෙන් සියල්ලන්ටම ප්‍රථමයෙන් පුවත් වාර්තා කිරීමට සෑම නාළිකාවක්ම තරගයක යෙදේ. ඉක්මනින්ම පුවත් ග්‍රාහක ගත කිරීම තුළින් සෑම නාළිකාවක්ම තම කඩිනම් බව ජනතාවට තහවුරු කිරීමට නොනවතින සටනක යෙදෙමින් සිටිති. ග්‍රාහකයා පුවතක් ග්‍රහණය කර ගත් සැනින් එය පරණ පුවතක් බවට පත්වේ. එසේම පරණ පුවතකින් සමාජයට සිදු කළ හැකි බලපෑමක්ද නැත.

ප්‍රවෘත්ති වාර්තා කිරීමේ විවිධ ශිල්ප ක්‍රම

  • ප්‍රවෘත්ති මැවීම 

     පුවත් ලෙස හදුන්වන්නේ සිදු වූ හෝ සිදු වන සිදුවීම්ය. එහෙත් දක්ෂ නිර්මාණශීලී වාර්තාකරුවෙකුට පුවත් මතුකර ගත හැකිය. සමාජය තුළ සැගවී ඇති සිදුවීම් හදුනාගැනීමට ප්‍රවෘත්ති ඉවක් ඇති දක්ෂ වාර්තාකරුවෙකුට හැකියාව ඇත.අවට නිරීක්ෂණය කිරීමෙන් මිනිසුන් හා දීර්ඝව සාකච්ඡා කිරීමෙන් විවිධ ලිපි ලේඛන හැදෑරීමෙන් සමාජය තුළ සැගවුනු තොරතුරු එළියට ගැනීමට දක්ෂ වාර්තාකරුවෙකුට හැකියාව පවතී.

  • ප්‍රවෘත්ති දඩයම් කිරීම 

     මෙයද ප්‍රවෘත්ති සොයාගන්නා තවත් ක්‍රමයකි. තමන් ඉදිරියේ සිදුවී ඇති සිදුවීම් සටහන් කිරීම, ඡායාරූපගත කිරීම හෝ රූපගත කිරීමට එහා ගිය කාර්යයන් ප්‍රවෘත්ති දඩයමේදී සිදුවේ. මෙහිදී සිදුනේනේ ප්‍රවෘත්ති මැවීමට දායක වන විවිධ පුද්ගලයන් හා ආයතන දෙස විපරමින් ඇස ගසාගෙන සිටීම තුළින් ප්‍රවෘත්ති සපයා ගැනීමයි. සුවිශේෂ දේශපාලඥයන්, නලු නිළියන්, ක්‍රීඩකයින් මෙන්ම වෘත්තීය සමිති වැනි සංවිධාන මෙම පුවත් මවන්නන් අතර වේ. ඔවුන් පසුපස හඹායමින් පුවත් දඩයම් කිරීමද ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුලබ සිදුවීමකි. 

  • ප්‍රවෘත්ති ගවේෂණය

     ප්‍රවෘත්ති ගවේශණය ප්‍රවෘත්ති වාර්තාකරණයේ දියුණු ප්‍රවණතාවයකි. ගවේශණාත්මක ප්‍රවෘත්ති කලාව ලෙසින්ද මෙය හැදින්වේ. සමාජයේ සිදුවන සිදුවිමක් මතුපිටින් වාර්තා කිරීමෙන් නොනැවතී එය පසුපස හඹායමින් නොපෙනෙන ඇතුළාන්තය සොයා යාම මෙහිදී සිදුවේ. සමාජයේ සැගවී ඇති දූෂණ සහ ජාවාරම් වැනි දේ පිළිබදව තොරතුරු සොයමින් ඒවා මාධ්‍ය තුළින් හෙළිදරව් කරමින් අවදානම් සහගත වුවත් ඒවා පිළිබද සොයා යෑම සිදුකරයි. එවැනි ප්‍රවෘත්ති ගවේශකයන් ජීවිත අවදානම් වලට ලක් වූ අවස්ථා ලෝකයේ ඉතා සුලබය. එහෙත් සමාජය යහපත් කිරීමට නොපෙනෙන මානයන් සොයා යමින් ගවේශණාත්මක ප්‍රවෘත්ති කලාව තුළින් ඉටු කරන සමජ සේවය අති දැවැන්තය. 

     ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු රැස් කරගන්නා ප්‍රවෘත්ති ඒවායේ ස්වභාවය අනුව වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකිය. ඉහත ආකාරයෙන් රැස්කරන තොරතුරු සියල්ල ඒවායේ ස්වභාවය අනුව මෙම වර්ග ද්විත්වය යටතට ඇතුළත් වේ. එනම් දෘඩ පුවත් හා මෘදු පුවත් වශයෙනි. 
     දෘඩ පුවත් යනු එදිනෙදා සමාජ ජීවිතයට සෘජුවම බලපාන කාලීන වටිනාකමකින් යුත් ප්‍රවෘත්ති වේ. රජයේ තීරණ, දේශපාලනික, ආර්ථික සහ සමාජීය වෙනස්වීම්, සංවර්ධන ක්‍රියාදාමයන්, පොදු සමාජ ගැටලු යනාදිය පිළිබද පුවත් මේ ගණයට අයත් වන අතර බොහෝ විට පුවත්පතක මුල් පිටුවේ පළවන්නේ මෙවැනි දෘඩ පුවත්ය. 
     මෘදු පුවත් යන්න වැඩි දෙනාගේ කියවීමේ කැමැත්ත දිනාගන්නා මානව ආකර්ෂණයක් සහිත සිදුවීම් පදනම් කරගත් තොරතුරුය. මෙම පුවත් බොහෝ විට ග්‍රාහකයා තුළ ආදරය, ශෝකය, හාස්‍ය, කරුණාව වැනි හැගීම් දැනවීමට සමත්ය. 
     ප්‍රවෘත්ති කලාව සම්බන්ධයෙන් බලපාන විවිධ ආචාර ධර්ම තිබේ. සමාජය තුළ අනිවාර්යයෙන් රැක ගත යුතු සාරධර්ම හා ආචාර ධර්ම ද තිබේ. මේ කිසිවක් උල්ලංඝනය වනසේ ප්‍රවෘත්ති නොලිවීමට මාධ්‍ය කරුවෙකු වග බලා ගත යුතුය. ප්‍රවෘත්ති ලියන රචකයෙකු විසින් වගබලා ගත යුතු නීතිමය කාරණා ද රැසක් තිබේ. ද්වේශ සහගත අදහස් හා සාවද්‍ය කරුණු ඉදිරිපත් කිරීමෙන් අදාළ පාර්ශවයන්ට බොහෝ හානි මෙන්ම වාර්තාකරුට නීතිමය ප්‍රශ්න ද මතුවිය හැකිය. ඒ පිළිබද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. 
     ප්‍රවෘත්තියක් සදහා අවශය තොරතුරු රැස්කරගත්  පසු එය ලේඛණ ගත කිරීමේදී හෙවත් වාර්ථාකරණයේදී අදාල තොරතුරු පෙළගස්වන ආකාරය කෙරෙහිද සැලකිල්ලක් යොමු කිරීම වැදගත් වේ. ග්‍රාහකයාට වඩාම වැදගත් කරුණු මුලිනුත් සෙසු කරුණු ඊට පසුවත් වන ආකාරයට පුවෘත්ති සංවිධානය කිරීම කරනු ලබන්නේ යටිකුරු පිරමීඩයක ආකාරයටය. එහිදී තොරතුරු වල වැදගත්කම අනුව තොරතුරු පෙළගස්වනු ලැබේ. 
     ඉහත ආකාරයට තොරතුරු නිවරදිව රැස් කරමින් උපරිම විශ්වසනීයත්වයකින් ග්‍රාහකයා වෙත ප්‍රවෘත්ති සම්ප්‍රේෂණය කිරීම සෑම මාධ්‍යකම මූලික කාර්ය විය යුතු අතර එම පුවත් නිවරදිව තෝරා බේරා ගෙන ග්‍රහණය කිරීම සාර්ථක සන්නිවේදකයෙකුගේ කාර්ය වේ. 

                                                                                                       -Nipuni Gamage-
                                                                                                        Department Of Mass Communication
                                                                                                        University Of Kelaniya 

 




     


 







Comments

Post a Comment

Popular posts from this blog

ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය

මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..