සෙංකොට්ටං සුවඳ..


     වර්තමානයේ එකම දිශානතියකට යොමු වූ නවකතා රසවිඳින පාඨකයන් වන අප එම රැල්ලත් සමග හෙම්බත් වී සිටින අතර නවකතාවක නියම රසය කුමක්දැයි හැඳිනගැනීමට තරම් අපොහොසත් වී ඇති බව පෙනී යයි. රසවින්දනය වෙනස් දිශානතියකට යොමු කරමින් පරිපූර්ණ නවකතාවක රසය සමාජය මත තැබීමට මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා සමත් වන්නේ සම්මානයන්ගෙන් පිදුම් ලද සෙංකොට්ටං  නවකතාව රචනා කර කරමින්ය. එක හුස්මට කියවා රසවිඳිය හැකි නවකතාවක් වන මෙය සිංහල නවකතා ගමන්මගෙහි සුවිශේෂී සංදිස්ථානයක් ලෙස අර්කථතනය කිරීමට මා යොමු වන්නේ සෙංකොට්ටං සුව පිළිබ අවබෝධයක් නැති වුවද කියවා හමාර වන විට ඒ සුව හැඳිනගැනීමට තරම් පාඨකයන් පොහොසත් වන නිසාවෙනි. සැබැවින්ම උසස් කලා කෘතියක හැඩය විය යුත්තේද එයයි. 

     සෙංකොට්ටං නවකතාව සිය සුව විහිදුවාලීමට විෂය භූමිය කරගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ වරප්‍රසාද අහිමිව, සමාජයෙන් නිරන්තර ගැරහුම් ලබන, සමාජය විසින් පහත් යැයි සළකන කුලයකට අයත් එකී මිනිසුන්ගේ ජීවිත කතාවයි. රිදීවිට ගමෙහි වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිද මල්මා රිදී ද, ඔවුන්ගේ දියණියන් වන පොඩිනා සහ හීන් රිදී ද, පොඩිනාගේ සැමියා වූ නිරන්තරයෙන් ඇයගෙන් ගැරහුම් ලබන නම්බු හේනයා ද, පොඩිනා ඔහු සමග විවාහා වීමට පෙර අනගිහාමි නම් තැනැත්තාට දාව උපන් බබා හේනයා නම් අට හැවිරිදි කුඩා දරුවා ද සෙංකොට්ටංහි ප්‍රධාන චරිත වේ. කුල ධූරාවලිය ඈත අතීතයේ රැකී රක්ෂා බෙදා දීමට ඇතිකළ ක්‍රමයක් වූ අතර පසු කළෙක දැනුම් තේරුම් නොමැති මිනිසුන් එම ක්‍රමය සමාජ තරාතිරම් කොටගෙන උදම් අනමින් ඇතැම් සමාජ කොට්ඨාසයන් පීඩාවට පත්කිරීමට අනුවණ ලෙස යොදාගත්හ. මෙකී සමාජ ස්ථරය තුළ සෙංකොට්ටං නවකතාවේ වීරප්පුලි හේනයා ඇතුලු ඔහුගේ පවුලේ උදවිය රැකියාව වශයෙන් ගෙයින් ගෙට ගොස් රෙදි එකතු කරමින් ඒවා පිරිසිදු කිරමින් හා කුලවතුන්ගේ කොටහලු උත්සවයන්යි අදාළ කටයුතු කරමින් රැකියාව කරගෙන යන්නේ කිසිවෙකුටත් අබ මල් රේණුවක හිරිහැරයක් නොකරමින් මුදලට වඩා සමාජ සේවයකි. 
     මෙම කෘතියේ මා කිසිදාක නොකියවූ සොබාදහම හා තදින්ම බැඳුණු, එහි ගහට කොළට, සතා සිවුපාවට මෙන්ම මිනිසෙකු වශමෙන් තම වර්ගයාට ඉතා ලැදි වචනෙකින්වත් නපුරක් නොකරන අපූරු මිනිසෙකු වූ වීරප්පුලි හේනයා පිළිබව කිය වූ විට උතුම් මිනිසත්කමේ ප්‍රබලත්ව‍යෙහි තරම පැහැදිලි වේ. ඔවුන්ගේ ජීවිතය ඉතා අව්‍යාජය, අවිහිංසකය. ආගම දහමටද ඉතා ලැදිය. පයින් ගව් ගණන් ඇවිද අනුරාධපුරය සිත් සේ වන්දනා කොට රැගෙන එන බෝ පැළය කුඩා දරුවකු මෙන් පරිස්සමට සිටුවා රැක බලා ගන්නට, එයට නිරන්තරයෙන් වන්දනාමාන කරමින්, අතිශය ගෞරව කරමින් තම දුක බෝ පත් වලට කියමින් හඩා වැටෙන්නට තරම් ඔවුන් කොතරම් සංවේදීද, කොතරම් අවිහිංසකද? වීරප්පුලි හේනයා නම් ඒ මිනිසා දරුවන්ගේ පියෙකු මෙන්ම කුඩා මුණුපුරාගේ ආදරණීය ආදර්ශමත් ආතා විය. කුඩා බබා හේනයා නම් තම මුණුපුරාට ඔවුන් නොදත් වටිනා අකුරු ශාස්ත්‍රය ඉගැන්වීමට ඔහුව පාසලකට ඇතුළත් කිරීමට ඔහු නිතර දෙවේලේ වෙහෙසුනද නුගුණ සමාජය විසින් ඔවුන්ට එම අවස්ථාව අහිමි කරන්නේ කුලවාදය ඉස්මතු කරමින් ඔවුන්ව පීඩාවට පත්කරමින්ය. කුලීනයන් උරුමකම් කියන සමාජ වරප්‍රසාද වලට සාපේක්ෂව කුල හීනයන්ට තම මූලික මිනිස් අයිතීන් පවා අහිමි වී යයි. නමුත් පසු කළෙක එම කුඩා දරුවා සමාජයේ මහා ධනවතෙකු හා බලවතෙකු වන්නේ කුඩා කළ ඔවුන් පීඩාවට පත් කළ කුලවාදය පරදමින්ය. ජීවිත කාලය පුරාවටම ඔහුගේ ආදර්ශමත් වීරයා වන්නේ තම අහිංසක ආතාය. 
     සමාජයේ නොයෙක් පැතිකඩ විවරණය කරන මෙම නවකතාව තුළ විශේෂයෙන් අදූරදර්ශී වීම නිසාවෙන් කාන්තාවන්ට සිදුවන විනාශයද, ප්‍රේමය නම් විෂයෙහි දුරදිග නොබලා අන්ධ වී කටයුතු කිරීම තුළ ඔවුන්ට අත්වන ඉරණමද කතුවරයා මෙහිදී පෙන්නුම් කරයි. 
     සමාජය තුළ කුල ධූරාවලිය මුල් කොටගෙන මෙම අහිංසක මිනිසුන් නිරන්තර තාඩන පීඩන වලට ලක් වන ආකාරය තුළ උපදින්නේ මහත් අනුකම්පාවකි. කතුවරයා එය මැනවින් ඉස්මතු කිරීමට සමත් වී ඇත්තේ පාඨක හදවත් තුළ කරුණා රසය ජනිත කරමින්ය. කාලය නැමති වැලි තලාවට බොහෝ දේ යටපත් වුවද , සමාජයේ ඉහළ යැයි සම්මතය එය යටපත් කළද, සත්‍යය කිසිදාක වසන් කළ නොහැක. එනම් සොබාදහම නැමති සර්වකාලීන , සර්වසම නොවෙනස් ප්‍රස්තුතය මිනිසුන්ට මෙන්ම ගහට කොළට සතා සිව්පාවට දක්වන දයාවේ කිසිම වෙනසක් එහි නොවීමයි.
     තමා ජීවත් වන සමාජයේ විෂමරූපී රටාවේ එක් පැතිකඩක් පිළිබව සසල හදකින් එකී පැතිකඩ සියුම්ව විවරණය කිරීම ඉතා කලාත්මකව,සංයමයකින්, උචිත බස් වහරක් යොදාගනිමින් කියාපෑමට නවකතාකරු සමත් වී ඇත. අද ද කුල ක්‍රමය එතරම් පීඩාකාරී නොවූවද මෙවන් චරිත අප අතර වේ. සමාජයට බොහෝ දේ දායාද කළ නමුත් සමාජයෙන් වචනයකවත් ප්‍රශංසාවක් නොලබා මිහිමත වැළලී යන සුන්රද ජීවිත වර්තමානයේද වේ. ඉඳින් ලොව සුන්දර කරවූවෝද ඔවුන්ම නොවේ ද? අව්‍යාජ මිනිසුන්ගේ සුන්දරත්වය ජීවන සුව වහනය වන මෙම නවකතාව සැබවින්ම කියවිය යුතු අගනා කලා කෘතියකි..



Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය

මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..