තේ දල්ලක කතාව..

සතුට හා දුක අතරමැදි මධ්‍යස්ථ තලයක සිට ලියමි..

      තේ දල්ලක කතාව අද මම ලියන්නේ හාත්පස සුන්දර තේ යායකින් වටවුනු ලස්සන ගම්මානයක සිටයි.. මේ කතාව මට කියන්නේ තේ දල්ලක්.. ටිකක් වෙනස් වැඩි දෙනෙක් නොහිතපු කතාවක් වෙන්න පුලුවන් කියවලා බලන්නකෝ.. තේ යායක් කිව්වම ඔබේ මගේ අපි කාගෙත් හිතේ මැවෙන්නේ කියාගන්න බැරි තරම්ම සුන්දර දර්ශනයක් නේද? නිල්ල නිලට තේ දලු එක යායට වැවුනු ලස්සන බිම් කඩක්.. තේ සහ ශ්‍රී ලාංකිකයන් අතර තියෙන්නේ නොබිඳිය හැකි බැඳීමක් වගේම ශ්‍රී ලාංකික අපගේ දින චර්යාවේ නොවරදින අංගයක්. තේ දලු කියන්නේ අපේ මේ පුංචි රටේ ලස්සන වගේම අපේ රටේ වටිනාකම මුලු ලෝකයටම අරන් ගිය පුංචි රටේ තියෙන ලොකු නිධානයක්. අපේ රටේ ප්‍රධාන කෘෂි අපනයන බෝගයක් තමයි තේ දලු කියන්නේ. අපි වගේම පිටරට වල විදේශිකයින් තුළ පවා අපේ රටේ තේ දල්ලට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ශ්‍රී ලාකීය තේ වල රසවත් බව වගේම ගුණාත්මක භාවයත් ලෝකය පුරා ප්‍රසිද්ධයි. එහි රසය කුඩා තේ අවන්හල් වල සිට තරු පංතියේ සුපිරි හෝටල් දක්වාම ආකර්ශනය කරගෙන ඇත. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ජේම්ස් ටේලර් විසින් අප රටට තේ ශාකය හඳුන්වා දෙනු ලැබීය. වර්ෂ 1867 දී අක්කර 19ක භූමි බාගයකින් ඇරඹුනු ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදනය වර්තමානය වන විට ගෝලීය මායිම් අභිබවමින් ගෝලීය තේ ඉල්ලුමෙන් 19% ක් සැපයීමට සමත්ව ඇත.ලෝකයේ විශාලතම තේ අපනයනකරුවා වන්නේ ශ්‍රී ලංකාවයි. සෑම දෙනා පාහේම උදෑසන දෙනෙත් විවර කරන්නේ උණුසුම් තේ පානයක් අපේක්ශාවෙන්ය. ඇතැමුන්ට මෙය දවසේ ශක්තිය ගෙනෙන ජීව පානයක් හා සමානය. එවැනි ජීව ගුණ සපිරි තේ කෝප්පයෙහි පිටුපස ඇති ලෝකය දෙස මොහොතක් අප බැලුවාද..
     කුඩා තේ පැළයක් සිටුවීමේ සිට රසවත් තේ කෝප්පයක් පානය කිරීම දක්වා එන ගමන් මාර්ගය තේ කෝප්පය තරම්ම රසවත් නොවන්න පුලුවන්. ඒ රසය පිටුපස විඳවන සුසුම් ලන ජීවිත කොතෙක් තිබෙනවාදැයි කතා කරන්නට සොයා බලන්නට බොහෝ දෙනෙක් නොසිටින්න පුලුවන්.. තේ ගස් වැවෙන්නේ දලුලන්නේ වතු ජනතාවගේ හද ගැස්මෙන් ඔවුන්ගේ ජීවන සුවඳින්. ඒ තේ දලු මත හතිලමින් දුවන්නේ ඔවුන්ගේ අතැගිලි පමණක් නොව මුලු මහත් ජීවිතයයි. තේ දලු නෙළන ලඳුන්ගේ සිරියාව වර්ණනා කරන්නට ගීත සාහිත්‍ය යේ කොතෙක් ගීත තිබුණද ඔවුන්ගේ හද ගැස්ම හඳුනන්නට ඔවුන් වෙනුවෙන් නැගී සිටින්නට කෙනෙකු නැතිවීම අසතුටට කාරණයකි. උදේ රැයින් නැගිටලා කහට කෝප්පයකින් ගත සනසාගෙන උදේ රැයින්ම පිටත්වන ඔවුන්ගේ ජීවිත දවස පුරාවට ගෙවෙන්නේ තේ ගස් මත දලු ඇහිඳිමින් කූඩය පුරවමිනි. ඒ කූඩයේ දැල් අතරින්ම ඔවුන්නේ ජීවිතයේ සතුට සිනාව ගිලිහෙන්නේ ඔවුන්ටත් නොදැනිමය. මේ ඒකාකාරී ජීවිතය ගෙවෙන්නේ වතු සමගින්ය. වෛවාරණ ඇඳගෙන කරට මාල දමා කොණ්ඩයට මල් ගසා සීතල කාමර වල කැරකෙන පුටු මත ගණන් සාදන්නට, ලියන්නට ඔවුන්ට නොමැත. ඔවුන්ගේ ගතට වෙළෙන්නේ පොලිතීන් කවරයකි. හිස පළඳින්නේ අවුවෙන් වැස්සෙන් බේරී සිටීමට පොලිතීන් උරයක් හෝ රෙදි කඩකි. මේ ඔවුන්ගේ ජීවිතයයි. උදේ රැයින් පිටත් වන ඔවුන්ට දාඩිය මහන්සිය නිවා ගැනීමට සුවිශාල මන්දිර නැත ඇත්තේ අඩි 10ක 12ක පුංචි කාමරයකි. කුඩා දරු පැටවුන් රැක බලා ගැනීමට එහි කෙනෙකු නැත. ඇතැම් විට කුඩා දරුවන් ඔවුන් සිටිනා ස්ථානයේම ගස් දෙකක් අතරෙහි රෙදි තොටිල්ලක් සකසා නිදි කරන්නේ අසරණ තාවයට වෙනත් පිළියමක් නොමැති නිසාවෙනි. දරුවන් ඇරක්ෂා කිරීමට ඔවුන්ට සිටින්නේ උඩ ඉන්නා දෙවියන්ම පමණි. ඔවුන්ගේ අධ්‍යාපනය,සෞඛ්‍ය,නිවාස පහසුකම්,සනීපාරක්ෂාව යනාදිය නැතැයි කීමට නොහැක. නමුත් ඒ තුළ පවතින යටගියාවෙහි වේදනාව හැමදාම ඔවුන්ටම පමණක් විඳින්නට වුනු වේදනාවක් මිසක අන් කාහටත් නොදැනෙන නොපෙනෙන දෙයක් විය. ඔවුන්ගේ මේ දහඩිය මහන්සියට ලැබෙන සොච්චම් වැටුප එදා වේල සරි කර ගැනීමට, දරුවන්ගේ කටයුතු කිරීමට, ලෙඩක් දුකක් පැමිණි කළ ප්‍රතිකාර ගැනීමට මේ ආදී වූ නොයෙක් අවශ්‍යතාවන්ට ප්‍රමාණවත්ද දන්නේ ඔවුන්ම පමණි. වතු හිමියන් යටතේ වැඩකරනා ඔවුන්ට ඇනුම් බැනුම්, තහංචිද ජීවිතයේ කොටසක් ලෙසට හුරු වී ඇති බව නොඅනුමානය. මේ අප රස විඳන තේ කෝප්පයෙහි නොපෙනෙන සැබෑ රසයයි. ඒ රසය මිහිරිද අමිහිරිද කුමකන රසයක්දැයි වටහා ගැනීම මේ ලිපිය කියවන ඔබට භාර කරන්නේ රස දැනීම පුද්ගලබද්ධ කාරණාවක් නිසාවෙනි. 
     ඇති හැකි අය තම තමන්ගේ ජීවිත සුර ලෝක කරගැනීමට පොරකන සමාජයක තැළෙන පොඩිවන පුංචි මිනිසා දෙස උපේක්ෂාවෙන් බලන්නේ කවුරුන්ද.. ඔවුන්ගේ ජීවිතයට සැබෑ ආලෝකය ගෙන එන්නේ කවදාද.. ඇගිලි තුඩින් කරන මේ ජීවන සටන කළ හැක්කේද ගතේ සවිය මෙන්ම සිතේ වීරිය ඇති මොවුන්ටම පමණි. පසුගිය කෙරෝනා වසංගත සමය තුළ ව්‍යාපාර හා අනෙකුත් කෘෂිකාර්මික කටයුතු බිඳ වැටුනද අප රටේ ආර්ථිකය සවිමත් කිරීමට ස්ථාවරව පවත්වා ගැනීමට තේ අස්වැන්න ලබා දුන්නේ විශාල සහයකි. ඒ මොවුන්ගේ දහඩිය මහන්සියේ ප්‍රතිඵලයයි. ඇගිලි මතින් ගෙනයන මේ සටනට දිරි දීම හා ඔවුන් දෙස මානුෂීය බැල්මකින් බැලීම අප සැමගේ යුතුකමක් වේ. 

  
                                                                                                                                   සටහන: නිපුනි ගමගේ
      
        
        

Comments

  1. සමාජ කතිකවක් ❤️💪

    ReplyDelete
  2. Interesting one ❤

    ReplyDelete
  3. 1000 වත් නොලැබෙන තේඅත්

    ReplyDelete
  4. Yes your idea is correct
    And beautiful...!! Good luck

    ReplyDelete
  5. i agree Author's idea is like a tasty tea Cup

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය

මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..