මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..

 


     මුහුණුපොත යනු ඔබට ආගන්තුක ස්ථානයක් නොවේ. වත්මන් සමාජයේ කුඩා දරුවාගේ සිට වැඩිහිටි පරම්පරාව දක්වා මුහුණු පොත තුළ සැරිසරමින් කාලය ගත කිරීම දැකිය හැක. ජීවිතයේ සතුට, දුක, ආදරය, අනුකම්පාව වැනි මිනිස් සිතුම් පැතුම් බෙදාහදා ගැනීමට පහසුකම් සලසා දෙන ස්ථානයක් ඇත්නම් එය මුහුණු පොත ලෙස සමාජය තුළ අවිවාදයෙන් පිළිගැනෙන්නකි. මිනිසා තුළ උපතේ සිටම පවතින දැඩි සමාජශීලී ස්වභාවය තුළ නිරන්තරයෙන් අන් අය හා සම්බන්ධතා දැක්වීමට යොමු වන අතර සන්නිවේදනයේ දියුණුවත් සමගම මෙම සම්බන්ධතා විශ්වයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී තිබේ. එම සමාජ සම්බන්ධතා ගොඩනැගීමේ ක්‍රමවේදයන් අතර Facebook සමාජ ජාලයට මූලිකස්ථානය හිමිවේ. හතළිස් පස් වසරක අන්තර්ජාල ඉතිහාසය තුළ බිහිවූ සමාජයට බොහෝ බලපෑම් කළ සමාජ ජාලයක් වන මෙහි අද වන විට බිලියන ගණනක සාමාජිකයින් පිරිසක එකතුවෙන් අද වන විට ලොව ප්‍රකට සමාජ ජාලය ලෙස නම් දරා ඇත.

     වර්ෂ 2004 පෙබරවාරි 04 දින හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි Mark Zuckerberg ගේ මූලිකත්වයෙන් මෙම සමාජ ජාලය නිර්මාණය විය. මෙය ඔහු නිර්මාණය කළේ පුද්ගලික සම්බන්ධතා පවත්වා ගෙන යාමේ මෙවලමක් වශයෙන් මෙන්ම හුදු විනෝදාස්වාදය සදහාය. ලෝකය තත්පර ගණනක් ඇතුළත එක හුයකින් බැද තබන්නට හැකි බව ආතර්.සී.ක්ලාක් වැන්නන් ප්‍රකාශ කර තිබේ. 1984 දී උපන් Mark Zuckerberg අති දක්ෂ පරිගණක විද්‍යාඥයෙකි. ලොව වැඩිම බලපෑමක් කළ හැකි පුද්ගලයෙකු ලෙසද මොහුව දක්වා ඇත.


     CNN වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ වර්තමානයේ ලොව සිටින පුද්ගලයන් 06 දෙනෙකුගෙන් එක් අයෙකු Facebook භාවිතා කරන බවයි. බ්‍රිතාන්‍යෙය් හිට්වයින් ආයතනය විසින් පෙන්වා දෙන වාර්තා වලට අනුව Facebook වෙත එන සාමාජිකයින් සංඛ්‍යාව සෑම විටම Google වෙත එන සංඛ්‍යාව පරයා සිටින බවයි. මේ හේතුවෙන් Facebook මධ්‍යස්ථානය පිහිටි ස්ථානයද වෙනස් කිරීමට සිදුවිය. ඒ අනුව මෙය අද වනවිට ඇමෙරිකාවේ  මෙන්ලොර්ක් පෙදෙසේ පිහිටා ඇත.

     The National Psychologist ශාස්ත්‍රීය සගරාව දක්වන ආකාරයට අන්තර්ජාලය භාවිතා කරන වැඩිහිටියන්ගෙන් 61%ක්, තරුණ තරුණියන්ගෙන් 86%ක්, නව යොවුන් පරපුරෙන් 71%ක් Facebook භාවිතා කරන බවයි. 

     මෙහි කැපීපෙනෙන විශේෂතා වන්නේ Facebook යනු එක තැන පල් වෙන සමාජ ජාලයක් නොවන අතර මොහොතින් මොහොත විශේෂාංග එක්කරන අලුත් වන මාධ්‍යකි. ලෝකයේ බිලියන ගණනක මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට Facebook සමාජ සම්බන්ධතා වෙබ් අඩවියට හැකි වී තිබේ. එකිනෙකා අතර මිත්‍රත්වය,ආදරය,අලෙවිකරණය,විනෝදය බෙදාහදා ගැනීමේ ප්‍රබලම සන්නිවේදන මාධ්‍යක් වන නිසාම එකිනෙකා අතර සයිබර් අවකාශයේ දන්නා නොදන්නා ඕනෑම කෙනෙකු සමග සංවාදයේ යෙදීමට සම්බන්ධතා පවත්වා ගෙන යාමට හැකිය. ලොව පුරා තොරතුරු බෙදාහරින මෙවලමක් බැවින් කාව්‍ය සංකල්පනා මුදාහැරීමටත් කවීන්ට අවකාශය හිමිවේ. ඒ තුළින් බොහෝ විචාරකයන්ද බිහිවේ. එමෙන්ම අධ්‍යාපනය සදහා ඉවහල් වන බොහෝ තොරතුරු ගවේශණය කළ හැකිය. ඒ සදහාම විවිධ පුද්ගලයින් විසින් සැකසූ විශාල පිටු ප්‍රමාණයක් Facebook සමාජ මාධ්‍ය තුළ දැකගත හැකිය. එපමණක් නොව දේශපාලකයින්ට තම ප්‍රචාරණ කටයුතු අඩු පිරිවැයකින් කරගෙන යාමට අවකාශය මේ හරහා ලැබී ඇති අතර ග්‍රාහකයා වෙත පහසුවෙන් තොරතුරු සන්නිවේදනය කළ හැකිය. ග්‍රී ලංකාවේ අද දේශපාලන රාමුව ගත හොත් දේශපාලන කතිකාව Facebook ඔස්සේ ගොඩනැගී ක්‍රියාත්මක වන බවක් දැකිය හැක. ව්‍යාපාරිකයින්ට තම වෙළද ප්‍රචාරණ කටයුතු පවත්වාගෙන යාමට මෙම සමාජ මාධ්‍ය බෙහෙවින් උපකාරී වේ.


සමාජ ජාල වෙබ් අඩවි මගින් සමාජයට කරන බලපෑම උග්‍ර කර ඇත. විශේෂයෙන් යොවුන් වියේ පසුවන්නන් හා කුඩා දරුවන් කෙරේ මේ තුළින් වන බලපෑම වැඩිය. දෙමව්පියන් දරුවන් පිළිබද වැඩි අවධානයක් නොදැක්වීම තුළ දරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ නව මිතුරු සම්බන්ධතා ඇති කර ගැනීමට යොමු වන අතර ඒ හරහා විවිධ සමාජ අපචාර, ලිංගික අපචාර වලටද ලක්වන පිරිස් පිළිබදව මාධ්‍ය හරහා අසන්නට ලැබේ. විවිධ මානසික හා කායික රෝග වලින් පෙළෙන පුද්ගලයින් ඔවුන්ගේ පහත් ආශාවන් ඉටුකර ගැනීමට Facebook වැනි සමාජ ජාලයන් ඔස්සේ අත්දැකීම් නොමැති කුතුහලයෙන් පෙළෙන තරුණ දරුවන් පොළඹවා ගැනීම පිළිබද නිතර වාර්තා වේ. ඇතැම් Facebook පිටු ජාති ආගම් අතර මතභේද ඇති කිරීමට තුඩු දී ඇත. ඉගෙන ගන්නා සිසුන් ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු අතපසු කරමින් මෙහි සැරිසැරීමට යොමු වී සිටිති. ඇතැමුන් තම අතිශය පුද්ගලික තොරතුරු මේ හරහා හුවමාරු කරගැනීම තුළ විවිධ ප්‍රශ්න වලටද මුහුණ දීමට සිදුවූ අවස්ථා කොතෙකුත් අසන්නට ලැබී ඇත.

     කෙසේවෙතත් Facebook සමාජ මාධ්‍ය පිළිබද අද සමාජය තුළ දක්නට ලැබෙන්නේ ආන්දෝලනාත්මක තත්වයකි. ඇතැම් රටවල Facebook තහනම් කිරීම් හා සීමා කිරීම්ද දක්නට ලැබේ. මෙහිදී නීති තහංචි පැනවීමකට වඩා ස්වයං හික්මීමකින් මෙන්ම වගකීමකින් යුතුව සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කිරීම තුළ ඒ හරහා සිදුවන අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගත හැකිය. එමෙන්ම තම මිතුරන් ලෙස තමා දන්නා පුද්ගලයින් පමණක් එක්කර ගැනීම හා ඔවුන් අතරේ පමණක් තමා පළකරන ඡායාරූප හුවමාරු කරගැනීම තුළ ඉහත කී අවාසනාවන්ත තත්වයන්ගෙන් ආරක්ෂා විය හැක. ගෝලීයකරණය තුළ නව තාක්ෂණික දියුණුවත් සමග මිනිසා අලුත් අලුත් දේ නිපදවයි. නමුත් ඒවා භාවිතා කිරීමේදී තම නුවණ යොදවා කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එමගින් Facebook වැනි සමාජ මාධ්‍යන්හි වැදගත් වටිනා තොරතුරු පමණක් හංසයා දියෙන් කිරි වෙන්කරගන්නා සේ වෙන්කර තෝරාබේරා ගැනීමට අපට හැකියාව ලැබේ..

                                                                                                                                                   -නිමි-

                                                                                                         










  

 

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය