ජනමතය ගොඩනගන ජනමාධ්‍ය මෙහෙවර

     ජනමාධ්‍යවල සමාජ හැසිරීම හේතුකරගෙන සන්නිවේදනය හා ජනමතය ලෙසින් සංකල්පයක් නිර්මාණය වී තිබෙනු දැකිය හැක. සන්නිවේදනය ලෙසින් අදහස් කරන්නේ තොරතුරු අදහස් හා ආකල්ප ආදිය හුවමාරු කරගැනීමයි. ජනමතය යනු විවිධ විෂයන් පිළිබද ජනතාව දක්වන ප්‍රතිචාරයයි. එය පුද්ගලික කරුණක්, පොදු කරුණක්, දේශීය කරුණක්, ජාත්‍යන්තර කරුණක් ආදී ඕනෑම දෙයක් විය හැකිය. සන්නිවේදනය හා ජනමතය අතර පවතින්නේ දෙආකාර සබදතාවකි. සන්නිවේදනය කෙරෙහි ජනමතයේ බලපෑමත් ජනමතය කෙරෙහි සන්නිවේදනයේ බලපෑමත් යනුවෙන් එය වර්ග කළ හැක.

     සන්නිවේදන මාධ්‍ය මගින් ජනතාව වෙත විවිධ කරුණු ඉදිරිපත් කරයි. ඒවා දේශපාලන, සමාජීය හා ආර්ථික කරුණු විය හැක. ජනතාවගේ අවශ්‍යතාවය මත ඒවා තෝරා ගැනීමට මාධ්‍ය කටයුතු කරයි. ජනතාවට අවශ්‍ය කරන්නේ මොනවාද යන්න පිළිබද විමර්ශනයට සන්නිවේදන මාධ්‍ය කටයුතු කරයි. මෙය සන්නිවේදනය හා ජනමතය අතර පවතින සබදතාවයකි. ඇතැම් රටවල් මාධ්‍ය පර්යේෂණ පැවැත්වීම සදහා විශාල මුදලක් වැය කරයි. බටහිර රටවල මේ තත්වය දක්නට ලැබුණද ලංකාව වැනි රටවල එය බහුල ලෙස පැතිර ගොස් නැත. එසේ කිරීමට හේතු වන්නේ යම් සිද්ධියක් වැඩසටහනක් හෝ අවශ්‍යතාවක් පිළිබඳ ජනතාවගේ මතය දැනගැනීමට වැදගත් වන හෙයිනි. 

     ජනමතය කෙරෙහි සන්නිවේදන බලපෑම විවිධ කරුනු මත රදා පවතී. සන්නිවේදන අන්තර්ගතය ඒ අතර මූලික වෙයි. මිනිසුන්ට සමීප දේවල් පිළිබද අවධානය යොමු කිරීමේදී වැඩි බලපෑමක් සිදුකළ හැකිය. ජනමතය පිළිබඳ කතා කිරීමේදී දේශපාලනයද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. යම් දේශපාලකයෙකුගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට මෙන්ම පහළ දැමීමටද මාධ්‍යවලට හැකියාව පවතී. ඇමරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ ජයග්‍රහණයේ සුවිශේෂී මුහුණුවරක් වන්නේ ප්‍රචාරණයයි.

     එමෙන්ම යම් සිද්ධියක් පිළිබඳව පුද්ගලයා කරුණු දන්නේ ස්වල්ප වශයෙන් නම් ඔහුගේ හෝ ඇයගේ මතය වෙනස් කිරීමට මාධ්‍යට වඩාත් පහසුවෙන් හැකියාව ඇත. එහෙත් පුළුල් දැනුමක් සහිත පුද්ගලයෙකුගේ මත වෙනස් කිරීම එතරම් පහසු කරුණක් නොවේ. මන්දයත් එම පුද්ගලයා සතුව පුළුල් අවබෝධයක් පවතින බැවිනි. එමෙන්ම මහජන කටයුතු පිළිබද උනන්දුවක් ඇති කිරීම සදහා ජනමාධ්‍ය විශාල බලපෑමක් ඇති කරයි. මාධ්‍ය මගින් යම් කරුණක් පිළිබඳ වැඩිපුර කතාකරයි නම් ඊට ජනතා උනන්දුවද වැඩි වේ. ස්වාභාවික ආපදා, විවිධ රෝගාබාධ ආදිය පිළිබද ජනමාධ්‍ය නිරන්තරයෙන් සාකච්ඡා කරයි. 

     බර්නාඩ් බෙරස්ලන්ට අනුව ජනමාධ්‍ය හා ජනතාව අතර අන්තර් සබඳතාව විමසීමේදී කරුණු කිහිපයක් වැදගත් වේ.

1. මාධ්‍ය සන්නිවේදනය විශේෂිත වන තරමට බලපෑමද වැඩිවෙයි.

2. සන්නිවේදන තරගය වැඩිවන තරමට බලපෑම වැඩිය.

3. ජනතා මතය වෙනස් කිරීමේදී වක්ර මාර්ගයද වැදගත් වෙයි.

     ජනමතය දීර්ඝ කාලයක සිට පැවත එන සමාජ දේශපාලන සංසිද්ධියකි. ජනමාධ්‍ය ජනමතය පිළිබඳ අධ්‍යනයක යෙදුණේ 1920 ගණන්වලදීය. පොදු ජනතාව අතර ව්‍යවහාර වන ශක්තිමත් මත මානව ඉතිහාසය පුරාම හදුනාගත හැකිය. 1922 දී වෝල්ටර් ලිප්මන් Public Opinion නමැති පර්යේෂණ කෘතිය ප්‍රකාශයට පත් කරයි. වෝල්ටර් ලිප්මන් ජනමතයට පුළුල් අර්තකතනයක් ලබාදී ඇත. ජනමතය කියා දෙයක් ඇත. එය කල්පිත ස්කන්ධයකි. එය වහා වෙනස්වන සුළුය. මේ අනුව ජනමතය කියා හදුන්වන්නේ සමාජයේ හැසිරෙන සමාජ දේශපාලන මත සමුදායක් පිළිබඳ අධ්‍යනය කිරීමයි. මාක්ස්වාදී විචාරයට අනුව ජනමතය මූලික කොටස් කීපයක් යටතේ අධ්‍යනය කළ හැකිය.

1. පුද්ගල විඥානය

2. ජන විඥානය 

ජනමතය සකස් කිරීම සදහා ඉවහල් වන මූලික කොටස් 2ක් පිළිබඳ අවධානය යොමු කළ හැකිය.

1. ජනමත නායකයන්

2. ජනමත ග්‍රාහකයන් යන මෙම දෙපාර්ශවය නොමැතිව ජනමතයට පැවැත්මක් නොමැත. ජනමත නායකයන් මූලික වශයෙන් කොටස් කිහිපයකි. 

1. පුද්ගල මූලික ජනමත නායකත්වය

2. රාජ්‍ය මූලික ජනමත නායකත්වය

3. ආයතන මූලික ජනමත නායකත්වය

4. සංගම් මූලික ජනමත නායකත්වය

5. මාධ්‍ය මූලික ජනමත නායකත්වය 

     ඉහත සඳහන් කළ ජනමත නායකත්ව 4ම මාධ්‍ය මූලික ජනමත නායකත්වයේදී දැකිය හැකිය. ජනමතය සකස් කිරීමට විවිධ පුද්ගලයෝ යොදා ගැනෙති. නිවේදකයින්, නළු නිළියන්, දේශපාලඥයින් ආදියද ඒ අතර වෙයි. ජනමතය පැතිරවීම, වෙනස් කිරීම, යම් මතවාදයක් නැති කිරීම ආදිය සදහා ජනමාධ්‍යට මහත් බලපෑමක් කළ හැකිය.  විශේෂයෙන් යම් පුද්ගලයෙක් පිළිබදව, යම් සිද්ධියක් පිළිබව සමාජය තුළ නව මතයක් නිර්මාණයට ජනමාධ්‍ය යොදාගැනේ. ලංකාවේ දේශපාලනය පිළිබඳව විමසීමේදී එය තහවුරු කෙරෙන සාධක සොයාගත හැකිය. එසේම යුද්ධයක් පවතින අවස්ථාවක ජනතා මතය ඒ හා සම්බන්ධ කිරීමටද මාධ්‍ය විශාල මෙහෙයක් ඉටුකරයි. 

     මෙසේ ජනමතය නිර්මාණය සදහා වඩාත් ආකර්ෂණීය චරිත උපයෝගීකර ගැනීමද දැකිය හැකිය. ඇතැම් විට මෙම චරිත සමග මහජනතාව බැදීමක් ඇතිකරගත් විට මතවාදී ලෙස යම් කරුණක් පතුරුවා හැරීම පහසු වේ. එමෙන්ම මතවාදයක් වෙනස් කිරීමටද ජනමාධ්‍ය සතු ශඛ්‍යතාව සුවිශේෂ වේ.සෝවියට් සංකල්පය අධිපති සංකල්පය ආදියෙන් සිදුකෙරෙන්නේ ජනමතය හැඩ ගැස්සවීමට සන්නිවේදනය සකස්විය යුතු අයුරු පැහැදිලි කිරීමයි. මේ ආකාරයෙන් ජනමතය හා සන්නිවේදනය අතර පවතින සබඳතාවය පැහැදිලි කරගත හැකිය. 

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය

මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..