මේ ඇයගේ ලෝකයයි..

    



 

     සමාජ සන්ධර්භයේදී ස්ත්‍රීය හා පුරුෂයා යන චරිත ද්විත්වය ගත් විට බොහෝ කතා බහට ලක්වන මාතෘකාවන්ය. පොදුවේ දෙපාර්ශවයම සමාජ සත්වයන් ලෙස සළකනවාට වඩා ඊට ඔබ්බෙන් සාකච්ඡාවට ලක් කෙරෙන්නා වූ විශාල කතිකාවක් ස්ත්‍රීය හා පුරුෂයා සම්බන්ධය ගොඩ නැගී ඇත්තේය. ශාරීරික වෙනස අනුව ස්ත්‍රී හා පුරුෂ ලෙස වර්ග කරනවාට අමතරව සමාජ සංස්කෘතික සාධකයන් තුළින් ස්ත්‍රීය හා පුරුෂයා දෙස දෙයාකාරයෙන් බැලීම මෙයට හේතු වේ. ස්ත්‍රී පුරුෂ භාවය ජීවවිද්‍යාත්මකව උපතින් හිමිවන දෙයක් වන අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක නොවන සමාජ සම්බන්ධතා නිසා සකස් වී ඇති සමාජ ලක්ෂණයකි. 

පුරුෂ මූලික සන්දර්භය තුළ ස්ත්‍රියගෙ ලිංගිකත්වය යනු නිරතුරු පාලනයට, මැඩීමට නතු වූ දෙයක් බව අප දනිමු. මූලිකවම මෙය සිදු වූයේ අතීතයේ තිබූ මාතෘ මූලික සමාජයපීතෘ මූලික සමාජයක් වෙත රූපාන්තරණය වීමේදී නැඟුනු පීතෘත්වය පිළිබඳ අයිතිය යන කාරණාවේදී බව කිව හැකිය. (දේපළ පැවරීම යන කාරණය හේතුවෙන්) පිය උරුමයෙහි පාරිශුද්ධ බව රැක ගැනීමට දරුවන්ගේ සුජාත බව වැදගත් වූ අතර, ඒ උදෙසා ස්ත්‍රීයගේ ලිංගිකත්වය සමාජය විසින් පාලනයට නතු කෙරිණි. ජීවිතයේ බොහෝමයක් අංශ වලදී තීරණ ගැනීම පිරිමියා විසින්ම සිදු කරන අතර කාන්තා නියෝජනය ඒ තුළ දැකිය නොහැක. ලොව පුරා විසිරී සිටි ඉපැරණි ග්‍රීක, රෝම, ඉන්දියානු, චීන යන ශිෂ්ඨාචාර දෙස බැලීමේදී ඒ සියල්ලෙහි තිබූ පොදු කරුණක් ලෙස ස්ත්‍රිය ලිංගික වශයෙන් බෙලහීනකොට, සදාචාරත්මක, ආගමික, දේශපාලනික සීමාවන් යොදා ඇයගෙ ලිංගික අයිතීන් මඩින ලද අයුරු පැහැදිලි ලෙස දිස්වෙයි. මේ සියළුම සමාජ තුළ ලිංගිකත්වය අර්ථ නිරූපණය වූයේ පුරුෂයා සහ ඔහුගේ තෘප්තිය වටා කේන්ද්‍රගත වූවක් ලෙසටය. සමාජ විදයාඥයෙකු වන මැක්ස් වේබර් පවසන ආකාරයට පීතෘත්වය යන සංකල්පය පවුලේ වැඩිමහල් පුරුෂයා වයසින් අඩු පිරිමි සාමාජිකයින්, ස්ත්‍රීන් හා දැසි දස්සන් මත පතුරවන ආධිපත්‍ය විස්තර කෙරේ.

ඉන් පසු පවා ඇතිවන ආගමික බලපෑම් හේතුවෙන් සමාජය විසින් ස්ත්‍රිය සලකනු ලැබූවේ අලිංගික (asexual) ජීවියෙකු ලෙසටය. ලිංගික හැඟීම් යනු ඇයට කැප නොවන දෙයක් වන අතර ඇය පැවතිය යුත්තේ දරුවන් ප්‍රජනනය කිරීම සඳහා සහ පුරුෂයාගේ තෘප්තිය සපයන්නිය වශයෙන් පමණකි යන අදහස සමාජයෙහි මුල් බැස ගති. (කොටින්ම ඉතා විවෘත ලෙස ස්ත්‍රියගේ ලිංගිකත්වය පවා සාකච්ඡාවට බඳුන් කල කාම සූත්‍රය ලියවුණු, කජුරාහෝ කැටයම් නිර්මාණය වුනු ඉන්දියාවෙහි පවා ආගමික මතවාද ඔස්සේ කාන්තාවට අත් වූයේද එවැනිම ඉරණමකි.) අද වන තුරුත් තම ලිංගික තෘප්තිය පිළිබඳ සිතන, කතාකරන ස්ත්‍රිය පිළිබඳ නරක- අසුභවාදී ආකල්පයකුත්, ඒ පිළිබඳ කිසිඳු හෝ දැනුවත් බාවයක් හෝ සංවේදී බාවයක් නොමැති ව සිටින ස්ත්‍රිය පිළිබඳ යහපත්- සුභවාදී (පරමාදර්ශී ස්ත්‍රියක ලෙස- a paragon of virtue) ආකල්පයකුත් සමාජ ගත කිරීමට ඉහත කී ආගමික සංකල්ප බොහෝ සේ ඉවහල් විය.

ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ සිතියම වෙනස් කිරීමෙහි ප්‍රබල පියවරක් ගැනෙනුයේත්, ඒ පිළිබඳ පුළුල් ලෙස සමාජීය අවධානයක් යොමු වූයේත් හැටේ දශකයේ බටහිර ලෝකයේ නැඟි දෙවැනි රැල්ලෙහි ස්ත්‍රීවාදයත් (Second Wave Feminism) සමඟිනි. ඊට පෙර Simone de Beauvoir විසින් රචිත "The Second Sex", Betty Friedan විසින් රචිත "The Feminine Mystique" වැනි කෘති වලින් ප්‍රකාශිත විප්ලවකාරී අදහස් වලින් කුළුගැන්වුනු 60 දශකයේ ඇති වූ දෙවන ස්ත්‍රීවාදී රැල්ලෙහි වැඩි අවධානයක් යොමු වූ අංගයක් වූයේ ස්ත්‍රී ලිංගිකත්වයයි. Sigmund Freud ආදීන්ගේ නව මනෝ විශ්ලේෂණයන්ද ඒ සඳහා උත්ප්‍රේරකයන් සැපයීය.

 එසේ ආරම්භ වූ ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ කතිකාවත අද වන තුරු ලොව පුරා විවිධ මති මතාන්තර, නව අදහස් සහ සංවාද විසංවාද ඔස්සේ විකාශය වෙමින් පැතිර යයි. එදා සිට අද දක්වා තම කෘති, නිර්මාණයන්, අදහස් හා දැනුම දායක කරමින් එම සංවාදයෙහි රැඳී සිටින ක්‍රියාකාරින් බොහෝමයකි.

වර්තමාන ලාංකික සමාජය වෙතට යොමු වුවහොත් අපට අවබෝධ වනුයේ වත්මන් ලාංකේය සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ ඇත්තේ ‍යටත් විජිත සමයෙහි මෙහි මුල් බැසගත් වික්ටෝරියානු සුචරිතවාදී අදහස් මිස ඊට පෙර මෙහි පැවති අව්‍යාජ සහ වඩා නිදහස් ආකල්ප නොවන බවයි. අද වන විට ලාංකික සමාජය තුළ ස්ත්‍රීයගේ ලිංගිකත්වය යනු නිවැරදි අවබෝධයකින් තොර වූවක් පමණක් නොව ඉතා වැරදි සහගත අදහස් වලින් පිරී ගිය ප්‍රස්තුතයක් බවට පත්ව ඇත

විශේෂයෙන්ම සමාජ ජාලා ආදියෙහි ජන විඥාන හැසිරීම් නීරීක්ෂණයේදී නිර්දය ලෙස ගැහැණියගේ ලිංගිකත්වය පාගා දමමින් පුරුෂ ලිංගිකත්වය සහ ලිංගික ආශයන් උත්කර්ෂයට නන්වන අයුරු අප දකිමු. උදාහරණයක් ලෙස විවාහයට පෙර ලිංගික අත්දැකීම් ලැබීම, අසභ්‍ය චිත්‍රපට නැරඹීම පිරිමි ජීවිතයේ අත්‍යාවශ්‍ය කරුණක් ලෙස default එකක් බවට පත්වෙද්දී එවන් දේ ගැහැණියකට කිරීමට තබා සිතීමටවත් බැරි දේවල් බවට මෙම සමාජය විසින් තීරණය කර ඇත.

එමෙන්ම රූපවාහිනී බොහෝ වෙළදදැන්වීම් තුළ ස්ත්‍රී ලිංගිකත්වය උත්කර්ෂයට නගමින් භාණ්ඩ අලෙවියේදී යම් භාණ්ඩයක් සදහා සංකේතයක් ලෙස ස්ත්‍රීය නිරූපණය කරයි. සුට් ජාලි විසින් සංස්කෘත සංකේතවාදය හා ලිංගිකත්වය තුළ මෙය සදහන් කර ඇත්තේ තවද වෙළද ව්‍යාලාර තුළ ස්ත්‍රීය නැරඹීමට ඇති භාණ්ඩයක් වශයෙන් හා පාවිව්වි කිරීමට ඇති භාණ්ඩයක් ලෙස නිරඋපණය කරන බවයි. උදාහරණයක් ලෙස සබන් දැන්වීමකදී රූමත් කාන්තාවක් නාන කාමරයේ සිට සබන් ආලේප කරන ආකාරය විනිවිද දකින ආකාරයට කැමරා කෝණය යොමු කරන්නේ නරඹන්නාට ස්ත්‍රීයගේ ලිංගිකත්වය පිළිබද හැගීම් ඇති කර භාණ්ඩයේ අලෙවිය ඉහළ නංවා ගැනීමට හැකිවන අයුරිනි. මෙට්ට අලෙවිය පිළිබද දැන්වීමකදී ස්ත්‍රීයක් නිදා සිටින ආකාරයේ රූප රාමු නිරූපණය කරමින් ඉස්මතු කරන්නේ එහි මුදු පහස සැපය පිළිබද පණිවිඩයකි. 

ලාංකික මාධ්‍ය ස්ත්‍රීය සූක්ෂම ලෙස වෙනස් කරන අතර පාරම්පරික ස්ත්‍රීය අගයයි. ස්ත්‍රීයට හිමි කාර්යන් වන්නේ ගෘහය සම්බන්ධ කටයුතු වන අතර දරුවන් රැකබලා ගැනීම හා පෝෂණය මෙන්ම ස්වාමියා වෙනුවෙන් කැපවී නිවස රැකබලාගන්නියක ලෙසයි. කාන්තාව හා පුරුෂයා අතර වෙනසක් පෙනෙන්නේ වෙනස් සංස්කෘතීන් හා පරමාදර්ශයන්ගේ බලපෑම ඔවුන්ගේ සමාජ භූමිකාවට ලැබීම මගිනි. සමාජ ජීවිතයේදී කාන්තාව පුරුෂයාට වඩා දෙවන කොට සැළකීම සංස්කෘතික සාධකයක් බවට පත්වී ඇත. එම වෙනස ශිෂ්ටාවාරය ගින් විශාල කොට පෙන්වීමක් සිදු කරන්නේය.

ජුඩිත් බට්ලර් සදහන් කරන පරිදි ස්ත්‍රී පුරුෂ සමාජභාවය සංස්කෘතික ගොඩනැංවීමක් බවයි. පිරිමිකම සහ ගැහැනුකම සංස්කෘතිය විසින් පවරන දෙයක් වන අතර එය ගැහැණිය මෙන්ම පිරිමියාද පීඩාවට පත්කරන බව Gender Trouble (1990) කෘතියෙන් දක්වා ඇත. එමෙන්ම ලිංගික අනන්‍යතාවය යනු අප විසින් රග දක්වන දෙයක් වන අතර එය ව්‍යාජ අභිනයක් බවත් දක්වා ඇත්තේය.

    ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවුල තුළ සළකා බැලීමේ දී ස්ත්‍රීයට අප්‍රධාන තත්වයක් හිමි වේ. පුරුෂයාට පවුල තුළ ආධිපත්‍ය බලය හිමි වේ. කවර සමාජයක වුවද කවර ජාතියක්, මානව වර්ගයක්, කුලයක් හෝ පංතියක් ගත්තද ස්ත්‍රීයට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ගත් විට අඩු නිදහසක්, අඩු වරප්‍රසාද, අඩු අයිතිවාසිකම්, අඩු දේපළ, අඩු කීර්තිය හෝ අඩු බලය බොහෝ විට හිමිවන්නේ කාන්තාවටයි. වැඩි බලයක් හෝ වැඩි ආධිපත්‍ය හිමි වන්නේ පුරුෂයාටයි. මේ අසමාන වු බල බෙදීම පදනම් වී ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාය.

     ඵ් අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ලැබු සමාජ සබඳතාවයක් ලෙස සරලව හැදින්විය හැකිය. ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක වෙනස මත සමාජය මෙම දෙපක්‍ෂය දකින ආකාරයද වෙනස්ය. ඵ් අනුව සමාජය විසින් මෙම බෙදීම නිර්මාණය කර දී ඇති බව පෙනේ. ස්ත්‍රීවාදය විසින් පවුල තුළත්, සමාජය තුළත්, ලිංගික වශයෙනුත්, දේශපාලන හා ආර්ථික වශයෙනුත් ස්ත්‍රීයට හිමි අසමාන තත්වය පිළිබද විචාරාත්මකයව බැලීමක් සිදු කෙරේ. ස්ත්‍රී පුරුෂ විභේදනය තුල ස්ත්‍රීයටද සමාන අයිතීන් හා සමසාධාරණත්වය ලැබිය යුතුය ඇයද සමාජ සත්වයෙකි යනුවෙන් සිතා කටයුතු කිරීම තුළ මෙකී සමාජ අසමානතාවයන්ට නිසි පිළිතුරු ලැබෙනු ඇත.



Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය

මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..