මාර්ගගත අධ්‍යාපනයේ නොදුටු පැතිකඩ..

   සාක්ෂරතා ඥාණය අතින් ලෝකයේ පෙරමුණ ගන්නා රටවල් අතර ශ්‍රී ලංකාවද පෙරමුණින් පසුවන්නේය. වර්තමානයේ මුලු ලෝකයම වෙළාගත් කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවලට මෙන්ම අප රටටද එල්ල වී ඇත්තේ සුලු පටු තර්ජනයක් නොවන්නේය. රටක සංවර්ධනයට ඉදිරි පැවැත්මට තුඩු දෙන බොහෝ කාරණා අතර සියල්ලන්ගේම කතාබහට ලක්වන ප්‍රමුඛ කාරණාවක් වශයෙන් අධ්‍යාපන කාර්යය සුවිශේෂ වේ. අප මුහුණ දෙමින් සිටින දරුණු වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පෙරපරිදි පවත්වා ගෙන යාමට නොහැකි වී තිබේ. එම තත්වය හේතුවෙන් රට පුරා සියලු පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතන සියල්ල වසා දමමින් මෙම වසංගත තත්වය පාලනය කරගැනීමට බලධාරීන් කටයුතු කරන ආකාරය වර්තමානයේ දැකිය හැකිය. මෙකී තත්වය මත නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් අධයාපන කටයුතු පවත්වාගෙන යාමට බොහොමයක් පාසල් ගුරුවරුන් මෙන්ම උපකාරක පංති ගුරුවරුන් වර්තමානයේ කටයුතු කරන ආකාරය සමාජ තුළ විශාල වශයෙන් දැකිය හැක. මෙකී පෙනෙන ලෝකය තුළ සැගවුණු නොපෙනෙන යථාර්තය තුළ පීඩාවිඳින අසරණ වන අහිංසක ජීවිත දහස් ගණනක් පවතී. සමාජයේ පවතින සම්පත් බෙදීයාමේ විශමතාවය තුළ ඇති හැකි පිරිස් බහුතරය අතරතුර එදා වේල සරිකර ගනිමින් ජීවිකාව ගෙන යන පිරිස්ද බොහොමයකි. එකී කුටුම්භයන්හි දරුවන්ටද අධ්‍යාපන අයිතිය සමානය. ස්වාභාවික විපත්තීන් කිසිවෙකුටත් වළක්වාලිය නොහැක්කේය. සියල්ලන්ම එය කෙසේ හෝ විදරා ගත යුතුවේ. එම තත්වය මත රට තුළ ආර්ථික අතින්ද විශාල අර්බුදයකට මුහුණ පාමින් සිටිති. එකී තත්වයද සියල්ලන්ටම පොදු කාරණයක් වුවද එහි බලපෑම ප්‍රබලව එල්ල වන්නේ සමාජයේ එදා වේල සරිකරගැනීමට සේවයේ යෙදෙන්නන්ටය. අධ්‍යාපන ආයතන පවත්වා ගෙන යාමට අසීරු මෙම කාලයේ මාර්ගගත අධ්‍යාපනය අධ්‍යාපන කටයුතු සදහා යොදාගැනීම තුළ යහපතක් මෙන්ම අයහපතක්ද දැකිය හැක්කේ ලෝක ධර්මතාව අනුව විය යුතුය. සෑම දෙයකම මෙකී හො හා නරක බැඳී පැවතීම ලෝක ස්වභාවයයි. මෙකී මාර්ගගත අධයාපනය සාර්ථක වීමට නම් අවශ්‍ය සම්පත් සැමටම තිබිය යුතුය. නමුදු සැමදා සංවර්ධනය වෙමින් පවත්වා රටක් යැයි නම් දරන අප රට තවමත් ඒ තත්වයට ලගා වී නොමැත. දරුවන්ගේ ඉල්ලීම් හා අනාගතය ගැන සිතමින් කුසට අහරක් හරියාකාරව නොගෙන ස්මාර්ට් දුරකථන ගැනීමට දෑතේ කරගැට සිඹිමින් දිවා රෑ නොබලා වෙහෙසෙන දෙමාපියන් බොහොමයක් තම දරුවන් වෙනුවෙන් නිහඩ කැපකිරීම් කරති. කෙසේ හෝ දුරකතනයක් මිලදී ගත්තද තාක්ෂණික අර්බුද රැසක් ඔවුන් හමුවේ පෙළගැසෙන්නනේය. නාගරික පදේශයන්ගෙන් ඔබ්බට යන විට දුෂ්කර ගම්මාන බොහෝමයක් ඇති අතර ඒවා තවමත් සංවර්ධනය යන වචනයට සම්බන්ධ කර නොගෙන ඇති බව පෙනීයයි. සංවර්ධනය පිළිබද බොහෝ උදවිය නොයෙකුත් වර්ණනා ගී ගැයුවද වුන්ගේ දෑසට මග හැරුණු හෝ හිතාමතා මගහැර තිබෙන එවැනි ගම්මාන අදටත් බොහෝමයක් පවතින බව සියල්ලන්ම දන්නා නොරහසකි. ඇතැම් ගම්මාන වල සිග්නල් සෙවීමට බොහෝ දුර ගෙවමින් සොයා යා යුතු අතර එයද බොහෝ විට ගසක් උඩ හෝ කඳු මුදුනකය. එම තාක්ෂණ පහසුකම් තිබුණද ඒ සදහා වැයවන මුදලද සුලුපටු නොවේ. මෙකී තත්වයන් මත මෙම මාර්ගගත අධ්‍යාපන කමය කෙසේ සියයට සියයක් කෙසේ සම්පූර්ණ වන්නේද? දරුවන් සියල්ලන්ටම සම අධ්‍යාපනය අයිතීන් පවතින පසුබිමක පහසුකම් ලත් කොටසකට පමණක් අදාළ වන මෙම අධ්‍යාපන පටිපාටිය කිසිවිටෙකත් සම්පූර්ණ නොවන්නේය. යටිතල පහසුකම්වත් නිසියාකාරව නොමැති දුෂ්කර පළාත් වලට තාක්ෂණයෙන් අධ්‍යාපනය ලබාදීම කිසිසේත් සාර්ථක නොවන්නකි. එම දරුවන්ට මෙයින් සිදුවන්නේ කබලෙන් ලිපට වැටුණා වැනි තත්වයකි. තාක්ෂණය හරහා ළමයි අධයාපනයට යොමු කරන්න තියෙනවා නම් හොදයි යන්න පැවසුවද, නමුත් මතුවන ප්‍රශ්නය වන්නේ රටේ හැම තැනම එම පහසුකම් නොමැති වීමයි. අනෙක් කාරණය නම් එම තාක්ෂණය භාවිතා කිරීමට දන්නා ගුරුවරු නාගරික ප්‍රදේශ වල තරමක් සිටියද ඇතැම් දුෂ්කර ප්‍රදේශ වල එම තාක්ෂණ දැනුම නොමැති ගුරුවරුන්ද සිටිති. තාක්ෂණය එක් එක් ප්‍රදේශයන්ට පමණක් සීමා නොවී සමස්ත රටටම එක සේ ලබා දිය යුතු පහසුකමකි. එම පහසුකම සැමටම එකලෙස ලැබෙන වැඩපිළිවෙළක් රට තුළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය වර්තමානයේ තදින්ම දැනෙන්නකි. අප රට තුළ සංවර්ධනය විය යුතු තවත් බොහෝ පැතිකඩයන් පවතින බව බලධාරීන් සියල්ලන්ටම අවබෝධ විය යුත්තකි. කොවිඩ් වසංගතය සමග හදිසියේ නිර්මාණය වූ මෙම නව තත්වයන් මත කලබලයට පත් නොවී ප්‍රායෝගිකව ඒවාට මුහුණ දිය යුතුය. එමෙන්ම සියලු දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සුරැකෙන ආකාරයටය. මේ සදහා ඉතා සියුම් ලෙස සැලසුම් සහගත ලෙස කිසිම දරුවෙකුට අසාධාරණයක් නොවන පරිදි විසඳුම් සෙවිය යුතු කාලය එළඹී ඇත. 


     

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලිකාංග..

ජනසන්නිවේදනයේ සුවිශේෂත්වය

මුහුණු පොතෙහි සැබෑ මුහුණත දැනගනිමු..